2026 නොවැම්බර් 26, පෙ.ව. 12:07
කාලයක් රංගනයෙන් තරමක් නිහඬව සිටි ශේෂාද්‍රි ප්‍රියසාද්, මේ දිනවල චිත්‍රපට තුනකින්ම එකවර රසිකයන් අතරට ඇවිත් ඉන්නවා.
මේ විදිහට ඇගේ රංගන ජීවිතයට නැවතත් වසන්තය උදා වීම ගැන දැනගන්න පසුගියදා අරුණ පුවත්පත ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ තොරතුරුයි මේ.
ශේෂාද්‍රි සිනමාවේ දැන් නිතරම ඉන්න නිළියක් වෙලා නේද?
පුංචි කාලේ ඉඳලම මගේ ලොකුම හීනය වුණේ රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්නයි. ඒ හීනය අද සැබෑ වෙලා තියෙනවා. මේ දිනවල තිරගත වන ‘එදා රෑ’, ‘අග්නිජ’ සහ ‘රහයි ජීවිතේ’ ඇතුළු චිත්‍රපට තුනකින්ම රසිකයන්ට මාව දැකගන්න පුළුවන්.
මේ දිනවල තිරගත වන රහයි ජීවිතේ කියන්නේ ඔබේ කීවැනි චිත්‍රපටයද?
මම රසිකයෝ අතර ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ 2011 වසරේ තිරගත වුණු චැලේන්ජස් චිත්‍රපටය නිසයි. හැබැයි මම ළමා නිළියක් විදිහට මුලින්ම සිනමාවට පිවිසුණේ 1997 වසරේ මගේ තාත්තා (දිනේෂ් ප්‍රියසාද්) අධ්‍යක්ෂණය කරපු ‘අපායේ තත්පර අසූහාරදාහක්’ චිත්‍රපටයෙන්. ප්‍රධාන චරිතයකින් සිනමාවට ආවේ 2011 වසරේදීයි. ඒ අනුව මේ දවස්වල තිරගත වෙන ‘රහයි ජීවිතේ’ කියන්නේ මම රංගනයෙන් එකතු වුණු 11 වැනි චිත්‍රපටයයි.
කලාවේ හොඳ ගමනක් යන ශේෂාද්‍රි, දිනක්ෂි, ශනුද්‍රි දූලා තුන්දෙනාව ගොඩනගපු දැවැන්ත ගහ විදිහට දිනේෂ් ප්‍රියසාද්ව හඳුන්වන්න පුළුවන්. ඒ තාත්තා ගැන මොකද හිතෙන්නේ?
තාත්තා නිසා තමයි අපි කලා ක්ෂේත්රයට ආවේ. අපි පුංචි කාලේ ඉඳලම දැක්කා තාත්තා සිනමාවේ වැඩ කරන හැටි. ඉතින් ලොකු වෙලා රංගන ශිල්පිනියක් වෙනවා කියන අදහස අපිට ඇති වුණේ තාත්තා නිසයි. රංගන ශිල්පිනියක් වෙලා ක්ෂේත්රයේ හොඳ ගමනක් යන්න අපිට හරි මඟ පෙන්නුවේ තාත්තා.
තාත්තා අධ්‍යක්ෂණය කරපු ‘රහයි ජීවිතේ’ චිත්‍රපටයට රංගනයෙන් එකතු වුණු ශේෂාද්‍රි දුවට ඒක දැනුණේ කොහොමද?
ඒ චිත්‍රපටයේදී ‘තාත්තා’ කියන පුද්ගලයාගෙන් මිදිලා වෘත්තීය අධ්‍යක්ෂකවරයෙක් කියන කෙනාවයි මම දැක්කේ. ඒ නිසා මේ චිත්‍රපටයේ රඟපාන එක මට එච්චර ලේසි වුණේ නැහැ. තාත්තාගේ වෘත්තීය අධ්‍යක්ෂණයේ නීතිරීතිවලට යටත් වෙලයි මම රඟපෑවේ. හැබැයි කොහොම වුණත් ඒක මට හරිම අපූරු අත්දැකීමක් වුණා.
‘රහයි ජීවිතේ’ මොන වගේ කතාවක්ද?
ආදරය සහ පවුල් සබඳතා ගැන හාස්‍යමය විදිහට කියන චිත්‍රපටයක් විදිහට ‘රහයි ජීවිතේ’ හඳුන්වන්න පුළුවන්. සැමියාව පාලනය කරගෙන ඉන්න හරිම සැර බිරිඳක් විදිහටයි මම මේකේ රඟපාන්නේ. මගේ සැමියා විදිහට රඟපාන්නේ ටෙනිසන් කුරේ. ඉතින් මේ චිත්‍රපටය බැලුවොත් හිනාවෙලා ලේ පිරිසිදු කරගෙන ජීවිතේ රහ කරගන්න පුළුවන්.
විකට ලොවේ රජා විදිහට හඳුන්වන ටෙනිසන් කුරේ සමඟ රඟපාපු අත්දැකීම කොහොමද?
ටෙනිසන් අංකල් ඉස්සර ඉඳලම අපේ පවුලේ හිතවතෙක්. මම පුංචි කාලේ ඉඳලමයි ටෙනිසන් අංකල්ව හඳුනන්නේ. ඉතින් ‘රහයි ජීවිතේ’ චිත්‍රපටයේදී එතුමා එක්ක රඟපාන්න ලැබීම මට ගොඩක් ලස්සන අත්දැකීමක් වුණා.
ශේෂාද්‍රි රංගනයෙන් දායක වන ‘එදා රෑ’ චිත්‍රපටය දින 50 ඉක්මවා තවමත් සාර්ථකව තිරගත වෙනවා. යුගයක් වසඟ කළ මිල්ටන් මල්ලවආරච්චිගේ පෙම්වතිය විදිහට රඟපාන්න ලැබුණු අත්දැකීම ගැන දැනෙන්නේ කොහොමද?
මිල්ටන් මහත්තයාගේ පෙම්වතියක් වුණු ‘ශිරානි’ගේ චරිතයයි මම ‘එදා රෑ’ චිත්‍රපටයේ රඟපාන්නේ. මගේ රංගන හැකියාවෙන් උපරිම වැඩක් ගන්න පුළුවන් වුණු විශිෂ්ට අවස්ථාවක් විදිහට මේ චරිතය හඳුන්වන්න මම කැමතියි. සාමාන්‍යයෙන් මම අඳින පළඳින ආකාරයට වඩා වෙනස් ඇඳුම් විලාසිතාවක් තමයි මේ චරිතය වෙනුවෙන් භාවිත වුණේ. ඒකත් ලස්සන අත්දැකීමක්. දින 50ක් ඉක්මවා ගියත් තවම ප්‍රේක්ෂක ඉල්ලුමේ අඩුවක් නැහැ. චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයෝ නිතරම කියන්නේ මම මිල්ටන් මහත්තයාගේ විරහ වේදනාව ප්‍රේක්ෂකයන්ට සමීප කරවන පෙම්වතියක් වෙලා තියෙනවා කියලයි.
ශේෂාද්‍රි රඟපාපු තවත් චිත්‍රපට කිහිපයක්ම ළඟදී තිරගත වෙන්න තියෙනවා කියලා ආරංචියි?
ඔව්. මම රඟපාපු තවත් චිත්‍රපට දෙකක් ලබන වසරේදී රසිකයන්ට නරඹන්න පුළුවන්. ඒ අතරින් මහේෂ් විදානපතිරණ සහ මාලිංග විජේසිංහ සම අධ්‍යක්ෂණය කරන ‘Honeymoon Of Tomorrow’ චිත්‍රපටය මුලින්ම තිරගත වෙයි. ඊට අමතරව බුද්ධික ජයරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ ජයන්ත චන්ද්‍රසිරිගේ තිර රචනයෙන් නිර්මාණය වුණු ‘කොළඹ 13’ චිත්‍රපටයත් ලබන වසරේදී රසිකයන්ට බලන්න පුළුවන්.
පහුගිය කාලේ රංගනයෙන් ඈත් වෙලා හිටියේ නැත්නම් මීට වඩා ඉහළ තැනක ඉන්න තිබුණා නේද?
අපේ ජීවිතයට දේවල් නොලැබෙන්නේ, අහිමි වෙන්නේ ජීවිතය තිබුණට වඩා හොඳ විදිහට වෙනස් කරන්න කියලයි මම හිතන්නේ. රංගනයෙන් ඈත් වෙලා හිටපු කාලයේදී මිනිස්සු ගැන සහ සමාජය ගැන මම ගොඩක් දේවල් දැනගත්තා. සමහර දේවල් ඒ ගොල්ලන්ගේ පැත්තෙනුත් මම කල්පනා කළා. ඒ හැමදේම ගැන හිතලා මගේ ආධ්‍යාත්මය මම දියුණු කරගත්තා. මම හිටියට වඩා මනසින් දියුණු වෙලයි ආපහු රඟපාන්න ආවේ. ඉතින් නිහඬව හිටපු කාලය ගැන මට තියෙන්නේ සතුටක් මිසක් කිසිම පසුතැවීමක් නෙවෙයි.
ආපහු රංගන ක්ෂේත්රයට ඇවිත් කෙටි කාලෙකින් ලොකු සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් වුණේ කොහොමද?
මා වටා ඉන්න ආදරණීය රසිකයෝ නිසයි නැවත ඇවිත් මේ තරම් සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වුණේ. මගේ පවුලේ අයගෙනුත් ඒ වෙනුවෙන් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම මගේ සැමියා ක්‍රිෂාන් මට හැමවෙලේම කියන්නේ “හැකියාව අපතේ හරින්න එපා, වැඩ කරන්න” කියලයි. මම අද ඉන්න තැන මට උරුම වුණේ මා වටා ඉන්න සුන්දර මිනිස්සු නිසා කියලයි මම හිතන්නේ.
සිනමාවේදී රඟපාන්න කැමැත්තෙන් ඉන්න විශේෂ චරිතයක් තියෙනවද?
‘ශේෂාද්‍රි ප්‍රියසාද්’ විදිහට නැතුව, ප්‍රේක්ෂකයාට වෙනස් විදිහට පේන සහ හැඟෙන අභියෝගාත්මක චරිතයක් කරන්න මගේ අදහසක් තියෙනවා. හැබැයි කිසිම මොහොතක ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් අශෝභන චරිත රඟපාන්න මගේ කිසිම අදහසක් නැහැ.
ප්‍රියසාද් පවුලට එකතු වුණු බෑනලා තුන්දෙනත් කලාකාරයෝ. බෑනලා එක්ක ප්‍රියසාද් පවුලේ බැඳීම කොහොමද?
අපේ පවුලට සම්බන්ධ වෙලා ඉන්න සාරංග අයියා, ක්‍රිෂාන් සහ දිනේෂ් මල්ලි කියන තුන්දෙනාම කලාවට ලොකු ලැදියාවක් තියෙන අය. එයාලා කලාවට ආදරේ නිසාම වෙන්න ඇති අපේ පවුල හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ තුන්දෙනාම අපිට වගේම අපේ අම්මාටයි තාත්තාටයිත් ගොඩක් ආදරෙයි.
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:25
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:10
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:21
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
23-11-26
23-11-26