2023 අප්‍රේල් 07, ප.ව. 1:06
            
තම වී මෝලට ගැමියන් ගෙන එන වී නොමිලේම කොටා දෙන අපූරු වී මෝල් හිමියකු කිරිඉබ්බන්ආරේදී හමු වුණා.
ලක්ෂ්මන් අයියාගේ හාල් මෝල නමින් ප්‍රදේශයේ සියලු දෙනා හඳුනන මහ පරිමාණ වී මෝලක් වන සංජීවනී වී මෝලේ පසුගිය අවුරුදු තුනක් තිස්සේ ගම්වැසියන්ගේ වී කොටා දෙන්නේ නොමිලේ.
එම තොරතුරු සොයා ගිය ගමනේදී අපට දැකිය හැකි වූයේ නොකඩවා ගම්වැසියන් විසින් තම වී සහල් කර ගැනීම සඳහා එහි ගෙන එන අන්දමයි.
ට්රැක්ටර්වලින්, ත්‍රීවීලර්වලින්, යතුරුපැදිවලින් සහ පාපැදිවලින් මෙන්ම තම හිස මත තබා ගෙනද ගෙන ආ වී මිටි පෝලිමේ වුණා.
ඔහු යටතේ සේවකයන්ද කිහිපදෙනකු සේවය කරන ආකාරය දක්නට වුණා.
මේ මෝලේ හිමිකරු මුණගැසෙන්නට පෙර අපි වී රැගෙන පැමිණි පිරිස් සමඟ මේ කතාව සත්‍යදැයි දැන ගැනීම සඳහා කතා කළෙමු. ඔවුන් අපට කියා සිටියේ අපෙන් කවදාවත් සල්ලි ගන්නේ නැහැ. අපිට වී ටික නොමිලේ කොටා දෙනවා. ඇත්තටම මේ කරන පිනෙන් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන යනුවෙන්.
සංජීවනී වී මෝලේ අයිතිකරු එන්.වී. කීර්ති තරුණයෙක්. වැඩිමහල් අය, බාල අය හැමෝම කියන්නේ ලක්ෂ්මන් අයියා කියායි. මම ප්‍රසිද්ධ වෙන්න කැමැති නැහැ. මම මේ කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මගේ බිරිය මෙන්ම දරුවන් තුන්දෙනාද මේ කිසිම දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. මම මීට වසර තුනකට උඩදී තමයි මේ විදිහට මිනිසුන්ට වී ටික නොමිලයේ සහල් කරලා දෙන්න ආරම්භ කළේ. ඒකට හේතුව වුණේ මම අලුතින් වී මෝලක් ගෙනාවා. ඒක මම විවෘත කරන්න හිටිය දවසේ වැඩිමහල් දියණිය කිව්වා තාත්තේ වැඩ ආරම්භ කරන දවසේ සල්ලි ගන්න එපා. එදාට එන හැමෝගෙම වී ටික නොමිලයේ සහල් කරලා දෙන්න කියලා. මම මගේ දුවගේ වචනය විශ්වාස කළා. ඒ අනුව එදා මම හැමෝගෙම වී ටික මුදල් ගන්නේ නැතිව කොටලා දුන්නා. එතකොට තමයි කොරෝනා උවදුර ආවේ. ඒ කාලේ මිනිසුන්ට ඉතාමත් අමාරු නිසා මම මුදල් ගත්තේ නැහැ. ගමේ කියලා බැලුවේ නැහැ. හැමෝගෙම වී ටික නොමිලේ හාල් කරලා දුන්නා.
දැන් කොරෝනා ඉවරයි. ඒත් ඒ වැඩේ මම දිගටම කරගෙන යනවා. මම මේවායින් මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වී ටික ගමේ මිනිසුන්ට කොටලා දුන්නා කියලා මට පාඩුවක් වෙන්නේත් නැහැ. මම කරන්නේ හාල් ව්‍යාපාරයක්. අම්පාර හා සෑම ප්රදේශයකින්ම වී ගෙනත් සහල් කරලා අලෙවි කරනවා. ඒක නිසා මිනිසුන්ට හාල් ටිකක් කොටලා දුන්න කියලා මට පාඩුවක් නැහැ. මගේ දරුවන් තුන්දෙනාම සහ බිරිය මේ වැඩේට හරි කැමැතියි. ඒ අය ඒකට මට ගොඩක් උදවු කරනවා.
මම මගේ ජීවිතයේ තියෙනකම් මේ වැඩේ ගමේ මිනිස්සු වෙනුවෙන් කරනවා. මොකද මම දිගටම හාල් ව්‍යාපාරය කළේ. මේ මිනිස්සු හින්දා තමයි අද මම මේ තත්ත්වයේ ඉන්නේ. ආර්ථික අපහසුතා ඇති මෙවන් අවස්ථාවන්හිදී ඒ වෙනුවෙන් මෙවැනි සද්කාර්යේ යෙදීම අතිශයම මානුෂීය කටයුත්තක්.
                                                        2024 මැයි 12, ප.ව. 3:18
                                                        2024 අප්‍රේල් 16, පෙ.ව. 12:04
                                                        2024 අප්‍රේල් 12, පෙ.ව. 12:39
                                                        2024 මාර්තු 17, පෙ.ව. 12:08
                                                        2024 මාර්තු 10, පෙ.ව. 12:01