hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 11, ප.ව. 5:29



යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එරට ප්‍රාදේශීය සන්නද්ධ හමුදා බඳවාගැනීම් ප්‍රධානීන් සියල්ලන්ම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවට නව ප්‍රධානීන් පත්කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

සෙලෙන්ස්කිගේ මෙම තීරණයට හේතු වී ඇත්තේ හමුදාවන්ට බඳවාගැනීමේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන බරපතල දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා බවයි වාර්තා වුණේ.

ඇතැම් පුද්ගලයන් වෙතින් අල්ලස් ලබාගෙන හමුදා සේවයට නුසුදුසු යයි ව්‍යාජ ලෙස සහතික කිරීම් කෙරෙන බවත් ඇතැම්විට ඇමරිකානු ඩොලර් වටිනාකමින් ඩොලර් 6000 ක් තරම් විශාල අල්ලස් ලබාගන්නා බවත් පසුගිය දා වාර්තා පළ වුණා.

මේ අතර යුක්‍රේනයට ලබාදෙන ආධාර සියල්ලම නිවැරදි ලෙස භාවිතා වන්නේදැයි සොයාබැලීම අසීරු බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද පිළිගෙන තිබෙනවා.

යුක්‍රේන මුදල් ඇමති සර්ගේයි මර්චෙන්කෝ පසුගියදා සඳහන් කර සිටියේ තම රටෙහි දූෂණ සහ අක්‍රමිකතා සම්පූර්ණයෙන් පිටුදැකීම අසීරු බව තම මිතුරන් ද පිළිගන්නා බවයි. රුසියාව සමග යුද්ධය නිසා ඇතැම් පුද්ගලයන්ට දූෂණ සහ අක්‍රමිකතා සිදුකිරීමේ නව මාවත් සැකසී ඇතැයි ද, ආරක්ෂක ක්ෂේත්‍රයේ පවා එවන් දූෂණ සහ අක්‍රමිකතා සිදුවන බව ද​ ඔහු සඳහන් කළා. නමුත් දශක දෙකකින් යුක්‍රේනයේ දූෂණ සහ අක්‍රමිකතා අඩුවෙන්ම සිදුවන්නේ ද වර්තමානයේ බවයි ඔහු කියා සිටියේ.