hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 7:51



ඉරිදා රාත්‍රියේ ඉරානයේ ශිරාස් නගරයේ ෂා චෙරාග් මුසෝලියම අසළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් අට දෙනෙක් තුවාල ලබා ඇතැයි ෆාර්ස් පළාතේ උප ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් ඉරාන රජයේ පුවත් සේවය වාර්තා කළා.

මේ අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ෆාර්ස් පළාතේ ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාවේ ප්‍රධානී යදොල්ලා බෞවාලි තහවුරු කර තිබුණා.

ඉරාන මාධ්‍ය මෙම ප්‍රහාරය පිළිබඳ විවිධ විස්තර ඉදිරිපත් කර තිබුණ අතර ඇතැම් වාර්තා අනුව සිව් දෙනකු මියගිය බවත් වෙඩික්කරුවන් දෙදෙනකු විසින් එය සිදු කළ බවත් සඳහන් ව තිබුණා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකුත් භාරගෙන නැහැ.

මෙම මුසෝලියමෙහි ෂියා ඉස්ලාමයේ අටවන ඉමාම්වරයා වන ඉමාම් රෙසාගේ සහෝදරයා වූ අහමඩ්ගේ සිරුර තැන්පත් කර ඇතැයි සැලකෙන අතර එහෙයින් ශියා මුස්ලිම්වරුන්ට මෙය පූජනීය ස්ථානයක් වනවා.

පසුගිය ඔක්තෝබරයේදී මෙම ස්ථානයේ සිදුවූ වෙඩිතැබීමකින් 13 දෙනකු මියගොස් 30 ක් පමණ තුවාල ලද අතර එම ප්‍රහාරයේ වගකීම ත්‍රස්තවාදීන් විසින් භාරගනු ලැබුණා. එම ප්‍රහාරයට විදේශිකයන් ද සහභාගී වී තිබුණු බවට බලධාරීන් පවසා තිබුණු අතර ඇෆ්ඝනිස්ථාන වැසියන් ද ඒ අතර වූ බවයි සඳහන් වුණේ. එම ප්‍රහාරය සම්බන්ධව දෙදෙනකුට පසුගියදා මරණ දඬුවම ලබා දුන්න ද ඔවුන් කිනම් ජාතිකයන් දැයි සඳහන් කෙරුණේ නැහැ.