2023 අගෝස්‍තු 17, පෙ.ව. 7:17
ඉතියෝපියාවේ පසුගිය දින කිහිපය තුළ සිදුවූ සිදුවීම් නැවතත් සිවිල් යුද්ධයක් කරා එරට රැගෙන යන බවක් පෙන්නුම් කරනවා.
මෙවර ගැටුමට හේතු වී ඇත්තේ රජය සහ අම්හාරා ජනවාර්ගික මිලීෂියා කණ්ඩායමක් වන ෆනෝ නම් කණ්ඩායම අතර මතුවෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වයයි.
රජයේ හමුදා සහ අම්හාරා සටන්කාමීන් අතර පසුගිය සතියේ ගැටුම් වාර්තා වූ අතර අම්හාරා ප්‍රදේශයේ ප්‍රධාන නගරවලින් සටන්කාමීන් ඉවතට තල්ලු කිරීමට රජයේ හමුදා සමත් වූ බවයි වාර්තා වූයේ.
මේ අතර අම්හාරා ප්‍රදේශය වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සැලකියයුතු ජීවිත හානි වාර්තා වන බව ද මාධ්‍ය වාර්තා කියා සිටිනවා. තවද පසුගිය සති අන්තයේ අම්හාරා ජාතිකයන් රැසක් අත් අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා පළ වුණා. එමෙන්ම පසුගියදා රජය විසින් රටේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබුණා.
ඉතියෝපියාවේ උතුරුදිග ටිග්‍රේ ප්‍රදේශයෙහි වසර දෙකක් තිස්සේ ඇවිල ගිය සිවිල් යුද්ධය පසුගිය නොවැම් බරයේදී අවසන් වුණා. එම සිවිල් යුද්ධයේදී අම්හාරා සටන්කාමීන් රජයට සහය දැක්වූවා. කෙසේ වෙතත් ට්‍රිග්‍රේ යුද්ධය නිමාවීමෙන් පසු අම්හාරා සටන්කාමීන් බලාපොරොත්තු වූ පරිදි ඉඩම් හෝ වෙනත් වාසි ඔවුනට ලැබුණේ නැහැ. එහෙයින් ඔවුන් රජය සමග අමනාපයෙන් පසුවූයේ යයි විශ්වාස කෙරෙනවා.
අඩිස් අබාබා අගනුවරට උතුරු දෙසින් සහ නැගෙනහිරින් අම්හාරා ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ පිහිටා තිබෙනවා. අම්හාරා ජනතාව ඉතියෝපියාවේ සමස්ථ ජනගහනයෙන් හතරෙන් එකක් වන අතර අම්හාරා ප්‍රාන්තය භූගෝලීයව එරට තෙවැනි විශාලම ප්‍රාන්තයයි. එහෙයින් මෙහි සිදුවන සිවිල් යුධ තත්ත්වයක් ඉතියෝපියාව කෙරෙහි ඉතා අයහපත් ප්‍රතිඵල ඇතිකළ හැකියි.