hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 10:19



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් මීට ස්වල්ප වෙලාවකට පෙර රුසියාවේ අමූර් ප්‍රදේශයේ වස්තොච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මුණගැසුණා.

කිම් ජොංග්-උන් මෙහි පැමිණියේ දුම්රියෙන් වීම ද විශේෂයක්. එමෙන්ම 2016 සිට රුසියාවේ ප්‍රධාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන වස්තොච්නි මධ්‍යස්ථානය මෙම හමුව සඳහා යොදාගැනීම ද විශේෂිත අවස්ථාවක් වනවා.

නායකයින් දෙදෙනාගේ හමුවේදී යුක්‍රේන යුද්ධය සඳහා උතුරු කොරියාවෙන් අවි ලබාගැනීම පිළිබඳ එකඟතාවයකට එළඹීමට පුටින් බලාපොරොත්තු වන බව ඇමරිකාව විශ්වාස කරනවා. ඇමරිකාව පවසන්නේ රුසියාවට අවි ලබාදෙන්නේ නම් උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කරන බවයි.

මේ අතර රුසියාව විසින් උතුරු කොරියාවට ආහාර ආධාර මෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය හා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන තාක්ෂණය ලබාදීමේ ඉඩක් වන බව ඇමරිකාව සැක කරනවා. රුසියාවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක කිම් ජොංග්-උන් සංචාරය කරන්නේ එවන් පරිසරයකයි.