hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 1:15



චීනයේ ජාතික අභ්‍යවකාශ ආයතනය ඊයේ තම මීළඟ සඳ මෙහෙයුම පිළිබඳ අනාවරණය කළා. ඒ අනුව ඔවුන් 2024 මුල් කාලයේදී සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයේ එයිට්කන් ද්‍රෝණියෙහි ගොඩබැසීමට සැලසුම් කර තිබෙනවා. එම මෙහෙයුම නම් කෙරෙන්නේ චංග්’අ-6 යනුවෙන්.

එමෙන්ම එම මෙහෙයුමේ සන්නිවේදන කටයුතු සඳහා චෙචියාඕ-2 චන්ද්‍රිකාව ද යොදාගැනීමට චීනය සැලසුම් කර තිබෙනවා.

තවද චංග්’අ-6 යානාවෙහි ප්‍රංශය​, ඉතාලිය​, පාකිස්ථානය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය යන රටවල් හා ආයතන මගින් නිපදවුණු අධි තාක්ෂණික සංවේදක හා අනෙකුත් උපාංග අඩංගු වන බව ද චීනය පවසා සිටියා.

සඳ මතින් පස් සාම්පල කිලෝ දෙකක් පමණ එකතු කරගෙන ගෙන ඒමට මෙම මෙහෙයුමෙන් අපේක්ෂා කෙරෙන අතර එමගින් සඳ මත අයිස් සහ අනෙකුත් සංඝටකවල පැවතීම පරික්ෂා කිරීමට බලාපොරොත්තු වනවා.

මීට පෙර ද චංග්’අ-5 මගින් චීනය සඳ මතින් පස් සාම්පල් ගෙන ඒමට සමත් වූ අතර ඒ අනුව ඇමරිකාව සහ සෝවියට් දේශයට පසු එම සමත්කම දැක්වූ පළමු රට බවට එය පත්වුණා.