hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 9:50



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පරිසර අමාත්‍ය නසීර් අහමඩ් විසින් තමා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපීම නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහුට මන්ත්‍රී ධූරය අහිමි උව හොත් ඇතිවීමට නියමිත පුරප්පාඩුව සඳහා එම පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින අලි සහීර් මවුලානා පත්වන බව මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් 6 වන දා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම තීන්දුව ලබන 17 වන දා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලැබීමෙන් පසු කතානායකවරයා විසින් එය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව අදාළ මන්ත්‍රී පුරප්පාඩුව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමෙන් පසු එම මන්ත්‍රීවරයා තේරී පත්වූ දිස්ත්‍රික්කයේ ඔහුට පසු වැඩි ම මනාප හිමිකරගත් අපේක්ෂකයා මන්ත්‍රී ධූරයට පත්කර ඇති බවට ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

2021 දෙසැම්බර් මාසයේ පැවති අය-වැය 2 වන වර කියැවීමේ විවාදයේදී එවකට පැවැති රජයට සහය දීම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය විසින් නසීර් අහමඩ් මන්ත්‍රීවරයා එම පක්ෂයෙන් නෙරපනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: