hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 11:46



යුක්‍රේන විශේෂ බලකායන් අප්‍රිකාවේ සුඩානයෙහි වැග්නර් සටන්කාමීන් සහ ඔවුන් සමග සබඳතා පවත්වන කැරලිකරුවන් සමග සටන්වදින බවට දැක්වෙන වීඩියෝපට දෙකක් යුක්‍රේනයේ කියෙව් පෝස්ට් පුවත්පත වෙත ලැබී තිබෙනවා.

මෙම වීඩියෝවලින් එකක් රාත්‍රී කාලයේ ගන්නා ලද්දක් වන අතර එහිදී සෙබළුන් පිරිසක් ගොඩනැගිල්ලකට පහරදෙන අවස්ථාවක් දැක්වෙනවා. අනෙක් වීඩියෝව දහවල් කාලයක ගන්නා ලද්දක් වන අතර එහි පෙන්නුම් කෙරෙන්නේ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ලවන ආකාරයයි. එහි කිසිදු යුක්‍රේන සෙබළකු පෙන්වන්නේ නැහැ.

මෙම යුක්‍රේන සෙබළුන් එරට හමුදා බුද්ධි අංශයට අනුබද්ධිත භටයන් බවයි විශ්වාස කෙරෙන්නේ.

වැග්නර් මිලිටරි සමාගමේ සාමාජිකයන් 2017 සිට සුඩානයේ සිටි අතර ඔවුන් රන් ආකර පවත්වාගෙන යාම සිදුකළා. මේවායේ ආදායම යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයට යොදාගන්නා බව විශ්වාස කෙරෙනවා. සුඩානයේ සිවිල් යුධ තත්ත්වයක් ඇති වූ අවස්ථාවේ වැග්නර් සටන්කාමීන් එරට හමුදා පාලනයට එරෙහිව සටන් කරන සටන්කාමීන් සමග සබඳතා පවත්වනවා.

යුක්‍රේන විශේෂ බලකා සුඩානයේ සටන්වදින බව මීට පෙරදීද වාර්තා වී තිබුණා. එමෙන්ම ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සැප්තැම්බරයේදී සුඩාන ආණ්ඩුවේ නියෝජිතයන් හමුවුණා. මේ අනුව මෙම වීඩියෝ දර්ශනවල සත්‍ය වශයෙන් ම යුක්‍රේන විශේෂ බලකා සිටින්නේ යයි විශ්වාසයක් මතුව තිබෙනවා.

යුක්‍රේන රජය මේ පිළිබඳ කිසිවක් නිල වශයෙන් සනාථ කර නැහැ. කෙසේ වෙතත් යුක්‍රේන හමුදා ප්‍රකාශකයකු කියෙව් පෝස්ට් සමග පවසා ඇත්තේ “රුසියානු ඝාතකයන්ට​” දඬුවම් කිරීම ද ලොව සෑම තැනකින්ම ඔවුන් එළවා දැමීම ද කළ යුතු බවයි.