hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 11, පෙ.ව. 10:58



ඇමරිකානු යුධ සහ මූල්‍යමය ආධාර නැවතුනත් යුක්‍රේනය දිගටම සටනෙහි රැඳී සිටින බව එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

රොයිටර්ස් පුවත් සේවය සමග කළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ යුක්‍රේනය සිය භූමිය ලෙස හඳුනාගන්නා ප්‍රදේශ සියල්ල මුදාගන්නා තුරු සටන නොනවතින බවයි.

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින දන්යෙත්ස්ක්, ලුහාන්ස්ක්, සපරෝෂියා සහ කර්සොන් පළාත්වල කොටස් ද ක්‍රිමියාව ද සිය රාජ්‍යයේ කොටස් ලෙස යුක්‍රේනය සලකනවා.

මේ අතර 2024 ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට පත්වුවහොත් සිදුවිය හැකි විදේශ ප්‍රතිපත්තීන් හි වෙනස්කම් පිළිබඳ තමන්ට තරමක සැක සංකා ඇති බවයි.

නමුත් කිනම් වෙනසක් සිදුවුවද යුක්‍රේනය සිය සටන ගෙනයන බවයි සෙලෙන්ස්කි අවධාරණය කළේ.

තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් පැය 24 ක් තුළ යුක්‍රේන යුද්ධය නැවැත්වීමට තමන්ට හැකියාව ඇතැයි ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත් ට්‍රම්ප් කියෙව් වෙත පැමිණියහොත් ඔහුට එසේ කිරීමට නොහැකි බව තමන්ට පෙන්වාදිය හැකි බවත් ඊට තමන්ට විනාඩි 24 ක් වත් අවශ්‍ය නොවන බවත් සෙලෙන්ස්කි මෑතකදී ප්‍රකාශ කළා.

මේ අතර යුක්‍රේනයට ලබාදිය හැකි ආධාර සීමා වී ඇති බව පෙන්ටගනය ද නොබෝදා ප්‍රකාශ කළා. පෙන්ටගනයට අනුව යුක්‍රේනය වෙත ලබාදිය හැක්කේ තවත් ඩොලර් බිලියනයක යුධ ආධාර පමණයි.

Example Image