hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 නොවැම්‍බර් 14, ප.ව. 4:05



හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ​ඇපකරුවන් අතරින් කාන්තාවන් සහ ළමුන් නිදහස් කිරීම පිළිබඳ එකඟතාවයක් ඇතිකරගැනීම ආසන්නයේ තිබෙන බව වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසනවා.

එම එකඟතාවයේ මූලික කරුණු මේ වනවිට සාකච්ඡා වී ඇති බව ද වැඩිදුර සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි දින කිහිපය තුල දී අවසන් එකඟතාවයක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ද එම පුවත්පත ප්‍රකාශ කළා.

හමාස් හි අල් කාසම් බ්‍රිගේඩ සන්නද්ධ අංශයේ ප්‍රකාශකයකු වන අබු උබයිදා සඳුදා දිනයේ කියා සිටියේ තමන් භාරයේ සිටින ප්‍රාණ​ඇපකරුවන් 70 දෙනකු පමණ නිදහස් කිරීමට තමන් සූදානම් බවයි. ඒ සඳහා ඊශ්‍රායලය විසින් දින පහක සටන් විරාමයක් ප්‍රකාශ කළ යුතු යයි ඔහු කියා සිටියා.

ඊශ්‍රායලය විසින් පලස්තීන කාන්තාවන් සහ ළමුන් 120 ක් පමණ එරට බන්ධනාගාරවල​ රඳවාගෙන සිටින බව අරාබි නිලධාරියකු පවසා තිබෙනවා. නමුත් හමාස් සංවිධානය පවසන්නේ තමන් නිදහස් කරගන්නට බලාපොරොත්තු වන ළමුන් ගණන 200 ක් පමණ ද කාන්තාවන් ගණන 75 ක් ද වන බවයි.

සටන් විරාමයක් ඇති වුවහොත් ගාසා වෙත මානුශීය ආධාර යැවීමේ අවස්ථාවක් ලැබෙන බව ද වොෂිංටන් පෝස්ට් වෙත අදහස් දක්වන එක් මූලාශ්‍රයක් කියා සිටිනවා.

ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරය අවස්ථාවේ හමාස් සංවිධානය විසින් හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන් 240 ක් පමණ ප්‍රාණ​ඇපකරුවන් ලෙස රැගෙන ගිය අතර ඉන් සිව් දෙනකු නිදහස් කරනු ලැබ තිබෙනවා.