hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 නොවැම්‍බර් 15, පෙ.ව. 11:08



චීනයට නුදුරු අනාගතයේදී තායිවානය ආක්‍රමණය කිරීම සඳහා ප්‍රමාණවත් හමුදාමය හැකියාවක් නොමැති බවත් එහෙයින් සිය ආරක්ෂාව තර කිරීමට තායිවානයට යම් කාලයක් ලැබෙන බවත් තායිවානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී වෙලිංග්ටන් කූ සඳහන් කර තිබෙනවා.

තායිපේ නගරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු පවසා ඇත්තේ නුදුරු වසරක හෝ දෙකක කාලය තුළ චීනයට එවැනි යුධ ශක්තියක් ලබාගැනීමට හැකිවේ යයි තමන් නොසිතන බවයි.

පසුගිය වසරේදී ඇමරිකානු ජෙනරල් මාර්ක් මිලී ද මෙවන් අදහසක් දක්වා තිබුණා. චීනයට මෙවන් ආක්‍රමණයක් කිරීමට අවශ්‍ය අත්දැකීම් සහ පසුබිමක් නොමැති බවයි මිලී පවසා තිබුණේ. ඔහු පැවසූයේ 2027 පමණ වනවිට ආක්‍රමණය සඳහා සූදානම් වීමට චීන ජනාධිපති සී ජින්පිං බලාපොරොත්තු වන බවයි.

වෙලිංග්ටන් කූගේ අදහස වන්නේ චීනය දිගටම තායිවානයට තර්ජනය කරමින් සිටින නමුත් ආක්‍රමණයක් සඳහා දැනට ඇති සූදානම ප්‍රමාණවත් බවක් නොපෙනෙන බවයි. එමෙන්ම එවන් ආක්‍රමණ සූදානමක් පෙනෙන්නට ද නොමැති බව ද ඔහු කියා සිටිනවා. එහෙයින් සිය අවි බලය වර්ධනය කරගැනීමට සහ හමුදා පුහුණුව වැඩිදියුණු කරගැනීමට කටයුතු කිරීමේ අවකාශය ඇතැයි ඔහු පවසනවා.