hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 24, පෙ.ව. 8:15



දකුණු රුසියාවේ දගෙස්ථාන් සමූහාණ්ඩුවේ අගනුවර වන මහච්කලා (Makhachkala) නගරයේ සහ ඊට කිලෝමීටර් 120 ක් පමණ දකුණින් පිහිටි දර්බේන්ත් (Derbent) නගරයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර කිහිපයකින් පොලිස් නිලධාරීන් ඇතුළු දසදෙනකුට වඩා මියගොස් තිබෙනවා.

ඊයේ සන්ධ්‍යා යාමයේ එල්ල වූ මෙම ප්‍රහාරවලදී දර්බේන්ත් හි යුදෙව් සිනගොගයක් වෙත සහ ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි පල්ලියක් වෙත පහරදෙන ලද අතර මහච්කලා හිදී පොලිස් මුරපොලක් හා ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි පල්ලියක් ඉලක්ක වුණා.

දර්බේන්ත් හි යුදෙව් සිනගොගයෙහි ආරක්ෂාව මෑතක සිට තර කර ඇති අතර රුසියානු යුදෙව් කොන්ග්‍රසය පවසන පරිදි එහි පිටත පොලිස් කණ්ඩායමක් ද ඇතුලත පුද්ගලික ආරක්ෂකයින් ද රඳවා තිබුණා. ප්‍රහාරකයින් මුලින්ම පොලිස් කණ්ඩායමට වෙඩිතබා ඇති අතර එහි වූ වෙඩි හුවමාරුවෙන් අනතුරුව ඔවුන් ගොඩනැගිල්ලට බෝම්බ ගසා ගිනිතබා තිබෙනවා. මෙම ප්‍රදේශයේ වෙඩි හුවමාරුව තරමක් වෙලා පැවති හෙයින් ගිනි නිවන භටයන් එහි එවීම ප්‍රමාද වුණා. ගින්නෙන් ගොඩනැගිල්ලට තරමක් හානි සිදුව තිබෙනවා.

මේ අතර ප්‍රහාරකයින් අසළ තිබූ ඕර්තඩොක්ස් පල්ලියකට කඩාවැදී එහි මුරකරුවකු ඝාතනය කර පසුව එහි ප්‍රධාන පූජකයා වූ 66 හැවිරිදි නිකොලායි කතෙල්නීකෆ් ද ඝාතනය කර තිබෙනවා.

ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලදී ත්‍රස්තවාදීන් දෙදෙනකු මරාදැමීමට සමත් වූ බව රුසියානු බලධාරීන් කියා සිටියා.

මේ අතර මහච්කලා හි රථවාහන පොලිස් මුරපළක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු මියගියා. නගරයේ ඕර්තඩොක්ස් පල්ලියක් වෙත ද ත්‍රස්තවාදීන් පහර දුන් නමුත් එයට ඇතුල් වීමට ඔවුන්ට අවස්ථාව ලැබී නැහැ. මෙම නගරයේදී ත්‍රස්තවාදීන් සිව් දෙනකු මරාදැමීමට ආරක්ෂක අංශ සමත් වුණා.

මියගිය ප්‍රහාරකයින් සය දෙනාම සර්ගකලා නම් ගම්මානයක වැසියන් බව වාර්තා වනවා. මේ අතර මෙම පිරිසෙහි නායකයින් වූයේ ප්‍රදේශයේ පළාත් පාලන ප්‍රධානියකු වන දේශපාලකයකුගේ පුත්‍රයන් දෙදෙනකු බවයි සොයාගෙන ඇත්තේ. මගොමෙද් ඔමාරෆ් නම් එම දේශපාලකයා ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Example Image