hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 15, පෙ.ව. 12:02



කොළඹ 07 වෝඩ් පෙදෙසේ අධි සුඛෝපභෝගී නිවසක පදිංචිව සිටි 56 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මේ වන විට පුවත් මවන චරිතයක් බවට පත්ව හමාරය.

විශේෂත්වය වන්නේ පුවත් මවන චරිතය මේ වනවිට ජීවතුන් අතර නොසිටීමය. මේ පුද්ගලයා කා අතරත් ප්‍රකටව සිටියේ ක්ලබ් වසන්ත කැරොකේ වසන්ත සන්හිල් වසන්ත යන නම්වලින්ය.

මොන නම්වලින් පෙනී සිටියද රටේ ජනාධිපතිවරයාගේ සිට පහළට මොන තරාතිරමේ ප්‍රබලයන් ඇසුරු කළද ක්ලබ් වසන්තට පාතාල වෙඩි උණ්ඩය පරාජය කිරීමට ඉඩ ලැබුණේ නැත.

නොසිතූ මොහොතක නොසිතූ ස්ථානයකදී නොසිතූ ආකාරයට එල්ල වූ පාතාල ප්‍රහාරයකින් ක්ලබ් වසන්ත අවසන් ගමන් ගියේය.

මීට වසර 15 කට 20කට උඩදී සීතල නුවරඑළියේ සන්හිල් නමින් හෝටලයක් පවත්වාගෙන ගිය වසන්ත එවකට ප්‍රකටව සිටියේ සන්හිල් වසන්ත යන නමින්ය. එවකට එතරම් ප්‍රකට චරිතයක් නොවූ වසන්ත හැම විටම උත්සාහ කළේ තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමටය.

2013 වර්ෂයේ එක්තරා දිනක නුවරඑළියේ සිට සිය සහචරයන් සමග ඩිෆෙන්ඩර් ජීප් රථයකින් කොළඹ එමින් සිටියදී බොරැල්ල ප්‍රදේශයේදී ඔහු ගෝරියක පැටලුණේය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියකු ගමන් කළ රථයකට වෙට්ටු දැමීමට ගිය අවස්ථාවේය.

වසන්ත ඇතුළු සගයන් ගමන් කළ රථය නතර කර ගැනීමට පොලිසිය උත්සාහ කළද ඒ නියෝග නොතකමින් ඔහු කොළඹ නගරය පුරා ඩෙඟා නැටුවේය. අවසානයේ වසන්ත පොලිසියට කොටු වුණේය. එහෙත් මේ ආරවුල කෙළවර වුණේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලම වසන්තගේ සමීප මිතුරන් බවට පත් කරමින්ය.

ඒ දැන හඳුනා ගැනීම හරහා වසන්ත බොහෝ දේ කර ගත්තේය. කොළඹ නගරය පුරා රාත්‍රී සමාජශාලා කීපයක් ආරම්භ කළ වසන්ත කොළඹ මැරැයින් ඩ්රයිව් හි සන්හිල් හෝටලයක්ද ඉදි කළේය. රාත්‍රී සමාජශාලා පිහිටුවීමෙන් පසු වසන්ත ක්ලබ් වසන්ත වුණේය. කැරෝකේ අවන්හල් කීපයක්ද පිහිටුවූ ඔහු කැරෝකේ වසන්ත යන නමින්ද ප්‍රකට වන්නට පටන් ගත්තේය.

රටේ ප්‍රභූ දේශපාලනඥයන්ගේ සිට ජනප්‍රිය නළු නිළියන් ගායක ගායිකාවන්, ක්‍රීඩකයන්, උසස් පොලිස් නිලධාරීන්, ධනවත් ව්‍යාපාරිකයන් මෙන්ම මෙකී නොකී අති විශාල පිරිසක් ක්ලබ් වසන්තගේ මිතුරු ගිණුමට එක්ව සිටියහ. ක්ලබ් වසන්තට අයත් රාත්‍රී සමාජ ශාලාවල සුරූපී තරුණියන් විශාල පිරිසක් සේවය කළහ. බොහෝ දේශපාලනඥයන් ඇතුළු රටේ නමගිය පුද්ගලයන් වැඩි පිරිසක් ක්ලබ් වසන්ත සමග සමීප වන්නේ ඔහුගේ මාර්ගයෙන් මේ රාත්‍රී සමාජ ශාලාවල සිටින සුරූපිණියන්ගේ පහස ලබා ගැනීමට බව නොරහසකි. ක්ලබ් වසන්ත ද සුරූපී ලඳුන් ඔවුන් වෙත පූජා කර ඒ සියල්ල තම අණසක යටතට ගත්තේය. ඇතැම් දේශපාලනඥයන්, ගායකයන්, ව්‍යාපාරිකයන්, නළුවන්, උසස් පොලිස් නිලධාරීන් ක්ලබ් වසන්ත ඇසුරු කළේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහාය. මේ සියලු දොලපිදේනි ලබා දෙමින් ක්ලබ් වසන්ත රටේ සිටින බහුතරයක් බලවතුන් ජනප්‍රිය පුද්ගලයන් සිය වසඟයට ගත්තේය.

නයිට් ක්ලබ් කරන කොට පාතාල ආශ්‍රය නොකර බැහැනෙ. වරක් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ක්ලබ් වසන්ත කියා තිබුණේය. රටේ ප්‍රභූන්ට අමතරව මුළු රටටම එපා කරවපු පාතාල නායකයන් කීපදෙනකුම ක්ලබ් වසන්තගේ සමීප මිතුරන් බවට පත්ව සිටියේය. ක්ලබ් වසන්ත ඔවුන් සියල්ල තම සමීපතමයන් ලෙස ළංකරගෙන සිටියේ තම බලය ශක්තිය වැඩිකර ගැනීමටය. දාමරික වැඩවලට නොගියද ක්ලබ් වසන්ත පාතාලයට පෙම්බැන්දේය. චන්ඩියකු ලෙස සැපිරීමේ උණක් මොහුට වැළඳී තිබුණා කීවොත් එය නිවැරදිය.

මෙරට පාතාලයේ වර්තමාන ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ක්ලබ් වසන්තගේ සමීපතම සගයකු විය. ඊට අමතරව කංචිපානි ඉම්රාන් මෙන්ම තවත් පාතාල මැරයන් කීපදෙනකුම ඔහුගේ සමීපතමයන් බවට පත්ව සිටියහ.

පාතාලයන් පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීපදෙනකුම ක්ලබ් වසන්තගේ මිතුරන් විය. කන බොන විනෝදකාමී මිත්‍රශීලී චරිතයක් වීම නිසා ක්ලබ් වසන්ත ඕනෑම පුද්ගලයකුගේ සිත දිනාගන්නට සමත් පුද්ගලයකු වූවේය. ඉකුත් 2017-18 වර්ෂ වන විට මාකඳුරේ මධුෂ් සිටියේ ඩුබායි රාජ්‍යයේය. ඒ වනවිට මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙන්ම මෙරට පාතාලය පාලනය කළේ මධුෂ් විසින්ය. රට පුරා මහා පාතාල භීෂණයක් ඇති කරගෙන සිටි මධුෂ් ඒ වනවිට ක්ලබ් වසන්තගේ සමීපතම මිතුරා බවට පත්ව සිටියේය.

ව්‍යාපාරික කටයුතුවලට යැයි කියමින් ක්ලබ් වසන්ත නිතර නිතර ඩුබායි රාජ්‍යය වෙත ගියේය. ඒ යන හැම අවස්ථාවකදීම පාහේ ක්ලබ් වසන්ත සිටියේ මධුෂ් සමගය. ඒ වනවිට මධුෂ්ගේ සමීපතම සගයන් ලෙස සිටි කංචිපානි ඉම්රාන්, අංගොඩ ලොක්කා ඇතුළු පාතාල සගයන් කීපදෙනකුම ක්ලබ් වසන්තගේ මිතුරන් බවට පත්ව සිටියහ.

මාකඳුරේ මධුෂ් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ඉපැයූ අති විශාල ධනස්කන්ධයෙන් කොටසක් ක්ලබ් වසන්තට ලබාදී තිබුණේ ඒ මුදල් නීත්‍යානුකූල මුදල් බවට හැරවීම සඳහාය. එම මුදලේ ප්‍රමාණය කොතෙක් දැයි හරියාකාරව තවමත් හෙළිවී නැතත් එය අතිවිශාල මුදලක් බව පැවැසෙයි.

මේ අතර 2019 වර්ෂයේ පෙබරවාරි මස 05 වැනිදා මධුෂ්ගේ පුත්‍රයාගේ උපන් දින උත්සවය ඩුබායිහි හෝටලයක පැවැතිණි. ඊට කලාකරුවන්, ව්‍යාපාරිකයන්, පාතාල අපරාධකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ සාදය සඳහා ක්ලබ් වසන්තට ද ආරාධනයක් ලැබී තිබුණේය. එහෙත් වසන්තගේ ඥාතියකුගේ මංගල උත්සවය නිසා ඔහුට ඊට සහභාගි වීමට ඉඩ ලැබී තිබුණේ නැත. මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානම ප්‍රතිවාදියා වූයේ අන්නාසි මොරිල්ය. මොහු සිටියේද ඩුබායි රාජ්‍යයේය. මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසියට කොටුකරදීමේ ඔත්තුව ලබාදී තිබුණේ අන්නාසි මොරිල් විසින්ය.

මාකඳුරේ මධුෂ් මෙහෙයවූ පාතාල කල්ලියේ මහ මොළකරු වූයේ කංචිපානි ඉම්රාන්ය. මීට වසර 15-20 කට උඩදී මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසල කැඳ කරත්තයක් කරගෙන ගිය කංචිපානි ඉම්රාන් හෙවත් කැඳකොල්ලා ඒ වනවිට මහා ධනකුවේරයකු බවට පත්ව සිටියේය. ඒ මාකඳුරේ මධුෂ් සමග කරගෙන සිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම හරහාය.

පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ කංචිපානි ඉම්රාන් මාකඳුරේ මධුෂ්ට සිය උපරිම සහාය ලබා දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නට උපකාර කළේය.

ඩුබායි පොලිසියට කොටුවූ මධුෂ් කංචිපානි ඉම්රාන් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණේය. කංචිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවට රැගෙන එද්දී ඔහු හොර රහසේම කටුනායක ගුවන් තොටුපළ හරහා මාලදිවයිනට පලා යෑමට කළ උත්සාහයක් අවසන් මොහොතේදී ව්‍යර්ථ විය.

කෙසේ වෙතත් මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මෙන්ම පාතාල ක්‍රියාකාරකම්වල සියලු තොරතුරු තිබුණේ කංචිපානි ඉම්රාන් සතුවය.

මධුෂ් විශාල මුදලක් ක්ලබ් වසන්තට ලබාදී තිබූ බව කංචිපානි ඉම්රාන් දැන සිටියේය. මධුෂ් මාලිගාවත්තේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයෑමෙන් පසු ඔහු මෙහෙය වූ පාතාල කල්ලියේ නායකත්වය නිතැතින්ම හිමිවුණේ කංචිපානි ඉම්රාන්ටය.

වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරගත කර සිටි කංචිපානි ඉම්රාන් 2022 වර්ෂයේදී ඇප ලබා එළියට ආවේය. දැඩි ඇප කොන්දේසි මත අධිකරණයෙන් ඇප ලබා දුන්නද ඒ කිසිවක් තඹ ශතයකට මායිම් නොකළ කංචිපානි ඉම්රාන් පැය 24ක් ගත වීමට මත්තෙන් මුහුදු මාර්ග ඔස්සේ රටින් පලා ගියේය.

කංචිපානි ඉම්රාන්ට රටින් පලා යෑමට ප්‍රභූ පුද්ගලයන් කීප දෙනකුම උදව් උපකාර කළ බවට රාවයක් පැතිර ගොස් තිබුණේය. ඒ අතර හිටපු පොලිස්පතිවරයකුගේ පුත්‍රයකු ද සිටින බව වාර්තා විය.

රටින් පලා ගිය කංචිපානි ඉම්රාන් අවසානයේ ඩුබායි රාජ්‍යයට පැන ගත්තේය. මාකඳුරේ මධුෂ් නතර කළ ස්ථානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල මෙහෙයුම් ආරම්භ කළ කංචිපානි ඉම්රාන් ඒ සියල්ල ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය.

මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයන් කීපදෙනකුම ඒ වනවිට කංචිපානි ඉම්රාන් සමග ඩුබායි රාජ්‍යයේ නවාතැන් ගෙන සිටියහ.

ඒ අතර අහුන්ගල්ලේ පැටී සොහොයුරන් වන සංජීව, ලොකු පැටී, පොඩි පැටී සිටියහ. ඊට අමතරව උනාකූරුවේ ශාන්ත, රොටඹෙ අමිල නැමැති පාතාල මැරයන් දෙදෙනා සිටියේ ද කංචිපානි ඉම්රාන් සමගය.

මාකඳුරේ මධුෂ් ක්ලබ් වසන්තට ලබාදී තිබූ බව කියන මුදල්වලින් කොටසක් ඉල්ලා කංචිපානි ඉම්රාන් ඔහුට පණිවුඩ එවන්නේ ඔය අතරතුරදීය. මධුෂ් ලබාදී තිබූ මුදල්වලින් කොටසක් වන රුපියල් ලක්‍ෂ 1400ක මුදලක් කංචිපානි මෙසේ ඉල්ලා සිටි බවට වාර්තා වෙයි.

මධුෂ් අවසන් ගමන් යෑමත් සමගම ඔහු ලබාදුන් සියලු මුදල් සහ අනෙකුත් දේ තමන් සතුවෙනු ඇතැයි ක්ලබ් වසන්ත සිතා සිටියද එය එසේ නොවීය. මේ මුදල් ආරවුල් දිගින් දිගටම ඇදෙන්නට පටන් ගත්තේය.

මහා ධනකුවේරයකු ලෙස සමාජය හමුවේ පෙනී සිටි ක්ලබ් වසන්ත හිටි හැටියේම වෙනස් වන්නට පටන් ගත්තේ මේ සිදුවීම් හරහාය. එදා අත දිග හැර ලක්‍ෂ ගණනින් මුදල් වියදම් කළ ක්ලබ් වසන්ත හතර අතට ණය වූ පුද්ගලයකු බවට පත් වෙමින් සිටියේය.

ඔහුට අයත්ව තිබූ නුවරඑළියේ සහ කොළඹ මුහුදු මාර්ගයේ සන්හිල් හෝටල් දෙකම විකුණා දැමුවේය.

“මං බංකොළොත් වෙලා ඉන්නේ බං දැන් ජීවත් වෙන්නත් සල්ලි නැහැ හතර අතට ණය වෙලා.”

ක්ලබ් වසන්ත සිය සමීපතමයන්ට නිතර කීවේය. ඔහු එසේ කළේ සැබැවින්ම මධුෂ්ගෙන් ලැබුණු මුදල් එළියට නොදා තවදුරටත් තමන් සන්තකයේ තබාගෙන කංචිපානි ඉම්රාන් නොමඟ යැවීමට වූවා විය හැකිය. කෙසේ වෙතත් කංචිපානි ඉම්රාන් ඇතුළු පාතාල සගයන් ඒ කිසිවකින් සෑහීමට පත් වුණේ නැත.

ඔවුන් කල්බ් වසන්තගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මධුෂ්ගෙන් ලබාගත් මුදල්වලින් කොටසක් තමන්ට අත්විය යුතු බවයි. මේ මුදල් ආරවුල දිගින් දිගටම පැවතුණේය. කංචිපානි ඉම්රාන්ගෙන් හෝ අහුංගල්ලේ ලොකු පැටීගෙන් හෝ තම ජීවිතයට තර්ජනයක් එල්ල වනු ඇතැයි ක්ලබ් වසන්ත මොහොතකටවත් නොසිතන්නට ඇත.

තමන් ගොඩනඟාගෙන තිබූ සමාජ වටපිටාව සහ ආශ්‍රය කරන බලගතු පුද්ගලයන් නිසා කිසිවිටෙකත් පාතාලයෙන් තමන්ට ජීවිත තර්ජනයක් එල්ලවීමට ඉඩක් නොමැති බව වසන්ත සිතන්නට ඇත.

එහෙත් වසන්ත පරලොව යැවීමේ දැවැන්ත සැලසුමක් මාස ගණනක සිට ක්‍රියාත්මක වෙමින් තිබුණේය.

වසන්තයා කවදාවත් අපට ඔය සල්ලි ටික දෙන්නේ නැහැ. ඒ නිසා අනික් උන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මූට වැඩක් දෙන්න ඕනෙ. වසන්තයට ගහන එක අපේ ටීම් එකේ පවර් එක වැඩි වෙන විදිහට කරන්න ඕනෙ.

කංචිපානි ඉම්රාන් සිය පාතාල සගයන් වූ අහුංගල්ලේ ලොකු පැටී, පොඩි පැටී උනාකූරුවේ ශාන්ත, රොටඹෙ අමිල සමග කීවේය.

ක්ලබ් වසන්ත පරලොව යැවීමේ මෙහෙයුම අහුන්ගල්ලේ ලොකු පැටී වෙත භාර කෙරුණේය. එතැන් සිට වසන්ත මරා දැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේය. පාතාල මැරයන් වසන්ත පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළෝය.

වසන්තය එළියට බැස්සොත් ලොකු ටීම් එකක් එක්ක යන්නේ. ඒ නිසා මිනිහට එළියෙදි ගහන එක ලේසි නැහැ.

ලොකු පැටී සිය පාතාල සගයන්ට කීවේය. ක්ලබ් වසන්තව කිසියම් ස්ථානයක තනි කර ඔහුට ප්‍රහාර එල්ල කිරීම සඳහා ලොකු පැටී සැලසුම් සකස් කරන්න පටන් ගත්තේය.

ක්ලබ් වසන්ත එක්තරා අවස්ථාවක මාතර ප්‍රදේශයට පැමිණෙන විට ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට ලොකු පැටී ඇතුළු පාතාල මැරයන් සැලසුම් කළෝය. එහෙත් එවර ක්ලබ් වසන්ත මාතර පැමිණීයේ නැත.

මෙම සැලසුම ක්‍රියාත්මක වන විට කංචිපානි ඉම්රාන් සහ රොටඹෙ අමිල සිටියේ ප්‍රංශයේය. අහුංගල්ලේ ලොකු පැටී සහ උනාකූරුවේ ශාන්ත සිටියේ ඩුබායි රාජ්‍යයේය. මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මොවුන් දෙදෙනාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේය. ක්ලබ් වසන්ත ඝාතනය කරන ආකාරය පිළිබඳව මොවුන් අතර සාකච්ඡා වට කීපයක් පැවැත්විණි. “වසන්තව කොහෙ හරි තැනක කොටු කරලා ගහන්න ඕනේ. සැකයක් ඇති නොවෙන්න වැඩේ කරන්න ඕනෙ. මොකද මිනිහා මාර කල්පනාවෙන් ඉන්න කෙනෙක්. අනික යන එන හැම තැනකම වෙපන් එක අරගෙන යන්නෙ.”

ලොකු පැටී උනාකූරුවේ ශාන්තට කීවේය.

වැඩේ ගැස්සෙන්නෙ නැති වෙන්න කරන්න ඕනෙ. මොකද වසන්තය වෙඩි කාලා බේරුනොත් ආයෙ අල්ලන්න හම්බවෙන්නෙ නැහැ. ඒ නිසා එක පාරම ඉවර කරලා දාන්න ඕනේ.

මේ අතර බලපිටිය ප්‍රදේශයේ ලොකු පැටීගේ හිතවතකු වූ මහේෂ් නැමැති තරුණයකු සිටියේය. ලොකු පැටී මහේෂ්ට මේ ගැන කීවේය.

“ක්ලබ් වසන්තයව කොහෙට හරි ගෙන්න ගන්න ක්‍රමයක් බලන්න. යන වියදම් සේරම දෙන්නම්.

ලොකු පැටී කීවේය. දින කීපයකට පසු මහේෂ් ලොකු පැටීට කථා කළේය.

“මගේ යාලුවෙක් ඉන්නවා දුලාන් සංජීව කියලා. ඌට හරිහමන් රස්සාවක් නැහැ. ටැටූ ගහන තැනක වැඩ කරන්නේ. ඌ ආසයි උගේම කියලා ටැටූ ෂොප් එකක් ඕපන් කරන්න. මහේෂ් කීවේය. ලොකු පැටී මොහොතක් කල්පනා කළේය. වසන්ත විනාශ කරන සැලසුමට දුලාන් යොදාගත හැකි බව ක්‍ෂණිකව ඔහුගේ සිතට ආවේය.

හරි… අපි කොල්ලට උදව් කරමු. උඹ කියපං ඌට මට කථා කරන්න කියලා. ලොකු පැටී මහේෂ්ට කීවේය. ඊට පසු දිනම දුලාන් ලොකු පැටීට කතා කළේය.

“මහේෂ් මට කිව්වා උඹ ගැන. මං තමයි ලොකු පැටී කියන්නේ. මං උඹට උදව් කරන්නම් ඔය ෂොප් එක පටන් ගන්න. ඕකට කීයක් විතර යනවද වියදම.”

ලොකු පැටී දුලාන්ගෙන් විමසුවේය.

“ඇත්තටම අයියෙ මගෙ තුන් හිතකවත් තිබුණෙ නැහැ මෙහෙම ෂොප් එකක් මට පටන් ගන්න පුළුවන් වෙයි කියලා. මහේෂ් තමයි උනන්දු කළේ මාව මේ වැඩේට. අයියෙ ලක්ෂ 10 – 15 ක් යනවා. හොඳටම කරනවා නම් ලක්‍ෂ 20ක් යනවා.”

දුලාන් සිය ඉටු නොවූ සිහිනය ගැන ලොකු පැටීට කීවේය.

“හරි උඹ තැනක් හොයාගෙන වැඩේ පටන් ගනින් යන වියදම් සේරම මං දෙන්නම්. දුලාන්ට ටැටූ ආයතනය ඉදිකර දීමට ලොකු පැටී පොරොන්දු වුණේය.

ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාලය ගාල්ල අම්බලංගොඩ, බලපිටිය, අහුංගල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක විහිද ගොස් තිබුණේය. දුලාන්ගේ මවද ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පෙළේ සාමාජිකාවකි. ඇය කීප අවස්ථාවකදීම මත්ද්‍රව්‍ය සමග පොලිසියට හසුවී බන්ධනාගාරගත වූ කාන්තාවකි. ටැටූ ආයතනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන උපකරණ මිලදී ගැනීමට යන වියදම් ගණන් බලා එය ලොකු පැටීට යැවීමට දුලාන් කටයුතු කළේය.

“ඔය ටැටූ ෂොප් එකෙන් ලාභයක් ගන්න පුළුවන්ද? අනික මං ලොකු මුදලක් ඕකට යට කරලා උඹ ඕක අතරමගදි දාලා ගියොත් මොකද කරන්නෙ…?”

ලොකු පැටී දුලාන්ගෙන් විමසුවේය.

“අනේ නෑ පැටී අයියෙ මං කවදාවත් එහෙම කරන්නෙ නැහැ. මං ටැටූ ෂොප් එකට ආසයි. අනික මං දන්න රස්සාවනෙ…”

දුලාන් කීවේය. ඒ අනුව දින දෙකක් ගතවන්නට පෙර නාඳුනන යතුරුපැදිකරුවකු දුලාන් සොයා ආවේය.

“මෙතන ලක්ෂ දෙකහමාරක් තියෙනවා. මේක ලොකු පැටී අයියා එව්වේ. එයාට කෝල් එකක් දීලා කියන්න සල්ලි හම්බ වුණා කියලා…”

නාඳුනන පුද්ගලයා දුලාන්ට මුදල් ලබාදී පිටව ගියේය. දුලාන් ඒ මොහොතේම ලොකු පැටීට කතා කළේය.

“අයියේ සල්ලි හම්බ වුණා. මං අදම ඒ සල්ලි බඩු ටික ගන්න බඳිනවා. ඒ වගෙම හොඳ තැනක් හොයාගන්න ඕනෙ. වැඩේ පටන් ගන්න හෙට ඉඳලා මං යනවා කඩයක් හොයන්න”

දුලාන් ලොකු පැටීට මුවනොසෑහෙන සේ ස්තුති කරමින් කීවේය.

පසුදා සිට දුලාන් ටැටූ ආයතනය ඉදිකිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයමින් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ ගණනාවක් පුරා ඇවිද්දේය.

අවසානයේදී අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දෙමහල් ගොඩනැඟිල්ලක උඩුමහලේ තිබූ කඩ කාමරය කුලී පදනම මත ලබා ගන්නට දුලාන්ට හැකිවිය.

“ලොකු පැටී අයියෙ මට හොඳ ෂොප් එකක් හම්බ වුණා අතුරුගිරියෙ. මං ඒක කුලියට ගත්තා. එතන මට හොඳට බිස්නස් එක කරගෙන යන්න පුළුවන්” දුලාන් වට්ස්ඇප් මාර්ගයෙන් වීඩියෝ ඇමතුමක් ලබාගෙන තමන් කුලියට ගත් වෙළෙඳසල ලොකු පැටීට පෙන්වා සිටියේය.

ඊට පසුදිනම දුලාන්ගේ සොහොයුරකුගේ බැංකු ගිණුමට ලොකු පැටී ඩුබායි සිට රුපියල් හත් ලක්ෂ අසූදහසක මුදලක් එවා තිබුණේය. ඒ මුදල් වැය කර කඩ කාමරය කුලියට ගත් දුලාන් ටැටූ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන අනෙකුත් කටයුතු සම්පාදනය කරන්න පටන් ගත්තේය.

ඒ අතර ලොකු පැටී සහ දුලාන් දිගින් දිගටම වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වෙමින් ටැටූ ආයතනය ගැන කතා කළෝය. “දැන් ඔය ෂොප් එක ඕපන් කරන්න කාටද ආරාධනා කරන්නෙ” ලොකු පැටී දුලාන්ගෙන් විමසුවේය.

“කේ. සුජීවා අක්කා මං හොඳට අඳුනනවා. මං එයාට ආරාධනා කරන්න ඉන්නෙ”

දුලාන් ලොකු පැටීට කීවේය.

“ඇයි උඹ ක්ලබ් වසන්තව අඳුනන්නෙ නැද්ද? එයාට ආරාධනා කරන්න බැරිද?” ලොකු පැටී දුලාන්ගෙන් විමසුවේය.

“පොඩි කාලෙ ඉඳලා මං වසන්ත සර්ගෙ ෆෑන් කෙනෙක්. එයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. ඒත් මං එයාව පෞද්ගලිකව අඳුනන්නෙ නැනෙ”

ක්ලබ් වසන්ත නොහඳුනන බව දුලාන් කීවේය.

“ක්ලබ් වසන්තට ලොකු ෆෑන් බේස් එකක් තියනවා. මිනිහට එන්න කිව්වොත් ටැටූ ෂොප් එකේ බිස්නස් වැඩි කරගන්න පුළුවන්. මිනහගෙ ෆේස්බුක් පේජ් එකේ ටැටූ ෂොප් එක ගැන දැම්මොත් හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ නිසා එයාට කතා කරලා බලන්න” ලොකු පැටී දුලාන්ට කීවේය.

ක්ලබ් වසන්තගේ ජංගම දුරකථන අංකය දුලාන්ට ලබාදී තිබුණේ ලොකු පැටී විසින්ය. ඒ අනුව දුලාන් ක්ලබ් වසන්තට දුරකථනයෙන් කතා කර තම ටැටූ ආයතනය විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

අතුරුගිරියේ ටැටූ ආයතනය විවෘත කිරීමේ උත්සවයට උපක්‍රමශීලීව ක්ලබ් වසන්ත ගෙන්වාගෙන ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම ඒ වනවිට ඉතාම සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණේය.

ඒ සඳහා දුලාන්ගේ සහාය ලොකු පැටී ලබාගෙන තිබුණේ උපක්‍රමශීලී අන්දමින්ය.

“ක්ලබ් වසන්ත කතා කරන කොට නිකමටවත් කියන්න එපා මං මේ වැඩේට උඹට උදව් කරනවා කියලා. මොකද අපි කුඩු බිස්නස් කරන නිසා වසන්ත ඒවට කැමති නැහැ. ඒ නිසා මං ගැන එක වචනයක්වත් කියන්න එපා. එහෙම වුණොත් මේ වැඩ සේරම අත හැරලා දාන්න වෙන්නෙ”

ලොකු පැටී කීවේය. ඒ සියල්ල හිස් මුදුනින් පිළිගත් දුලාන් ලොකු පැටී කියන කියන ආකාරයට ක්‍රියා කළේය. ජුනි 27 වැනිදා ටැටූ ආයතනය විවෘත කිරීමට දින යොදාගෙන තිබුණද ක්ලබ් වසන්තට එදිනට සහභාගිවීමට නොහැකි නිසා ජූලි 08 වැනිදාට එය කල්දැමුවේය.

කුලී ඝාතකයන් විසින් ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කරන ආකාරය සජීවීව නැරඹීමේ තිරිසන් ආශාවක් කංචිපානි ඉම්රාන් සහ ලොකු පැටී තුළ පහළවී තිබිණි. ඔවුන් ඒ සඳහා උපක්‍රමයක් යොදා ගත්හ. ලොකු පැටී ටැටූ ආයතනයේ හිමිකාර දුලාන්ට කතාකර ඒ ගැන කීවේය. “මල්ලි උඹ ටැටූ ෂොප් එක ඕපන් කරනවා අපට ලයිව් බලන්න ආසයි ඒ නිසා උඹ ෂොප් එක ඇතුළෙයි එළියෙයි සීසීටීවී කැමරා හයිකරපං, එහෙම කරලා කැමරාවල පින් නම්බර් එක (රහස් අංකය) අපට දීපං… ලොකු පැටී දුලාන්ට කීවේය.

ලොකු පැටී කියූ ආකාරයටම දුලාන් ටැටූ ආයතනය තුළ සීසීටීවී කැමරා සවි කළේය. එම කැමරාවල රහස්‍ය අංකය ද ලොකු පැටී වෙත ලබා දීමට කටයුතු කළේය.

මේ අතර ප්‍රහාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරුණේ උනාකූරුවේ ශාන්තගේ ප්‍රධානත්වයෙන්ය.

ප්‍රහාරය සඳහා ඝාතකයන් පැමිණෙන මෝටර් රථය මෙන්ම ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පලා යන වාහන සියල්ල සූදානම් කර තැබීමේ කාර්ය උනාකූරුවේ ශාන්ත විසින් සිදු කළේය.

ඒ අනුව ප්‍රහාරය එල්ල කර ඝාතකයන්ට පලා යෑම සඳහා වෑන් රථයක් බෙලිඅත්ත ප්‍රදේශයේ ස්ථානගත කර තැබීමට උනාකූරුවේ ශාන්ත පියවර ගත්තේය.

ත්‍රිරෝද රථ රියැදුරකු වන චතුරංග නැමැත්තා විසින් මේ වෑන් රථය මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ බෙලිඅත්තේ පිහිටි එක්තරා ස්ථානයක නතර කරගෙන සිටියේ උනාකූරුවේ ශාන්තගේ උපදෙස් මතය. ඒ සඳහා චතුරංගට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ද ලබාදීමට ශාන්ත කටයුතු කර තිබුණේය.

වෑන් රථය දිනපතාම පණ ගන්වා එහි බැටරිය ක්‍රියා කරවන තත්ත්වයේ තබා ගැනීම ඔහුට තිබූ කාර්ය විය. ක්ලබ් වසන්ත ඝාතනය වීමට දින දෙකකට උඩදී පුද්ගලයන් දෙදෙනකු විසින් මේ වෑන් රථය චතුරංගගෙන් ලබාගෙන යන්නේ උනාකූරුවේ ශාන්තගේ උපදෙස් මතය.

ප්‍රහාරය සඳහා අතුරුගිරියට යෑමට මෝටර් රථයක් සූදානම් කර තිබිණි. ව්‍යාජ අංක තහඩු යොදා ඒ සියල්ල සූදානම් කරන්නේ උනාකූරුවේ ශාන්තගේ උපදෙස් මත ඔහුගේ සහචරයන් විසින්ය.

ජූලි 08 වැනිදා දිනය උදා වුණේය. එදින දුලාන්ට බෙහෙවින් කාර්යබහුල දිනයක් විය. ටැටූ ආයතනය විවෘත කිරීමේ නැකත යෙදී තිබුණේ උදෑසන 9.48ටය.

ක්ලබ් වසන්ත සිය බිරිඳ සමග අතුරුගිරියට ආවේය. වෙනදාට ආරක්ෂකයන් පිරිවරාගෙන ගියද එදින ඔහු සමග ගියේ රියැදුරු සහ එක් ආරක්ෂකයකු පමණය. ක්ලබ් වසන්ත ටැටූ ආයතනයට යන විටත් ගායන ශිල්පිනි කේ. සුජීවා ඇගේ සැමියාද සමග පැමිණ සිටියාය. කේ. සුජීවාගේ සැමියා නයන වාසල කලක් චීවරධාරියකු ලෙස සිටි පුද්ගලයෙකි. උගත් ධර්ම කථිකයකු ලෙස ගම්පහ ප්‍රදේශයේ ජනතාවගේ වන්දනීයත්වයට පත්වූ ඔහු කේ. සුජීවා දැන හඳුනා ගැනීමෙන් පසු සිවුරු හැරියේය. එතැනින් නොනැවතුණු නයන වාසල 2021 වර්ෂයේදී කේ. සුජීවා සමග විවාහ වුණේය. විවාහයෙන් පසු කේ. සුජීවාගේ තනිනොතනියට ඇය සමග සෑම තැනකටම යෑමට නයන පුරුදුව සිටියේය. ටැටූ ආයතනයේ විවෘත කිරීමේ උත්සවයට නයන එන්නේ ද ඒ නිසාය.

තමන් කාලයක් තිස්සේ ආදරය කළ ක්ලබ් වසන්ත ප්‍රථම වරට දැකීමෙන් දුලාන් දැඩි ලෙස සතුටට පත්ව සිටියේය. අමුත්තන් පිළිගත් දුලාන් සහ බිරිඳ ඔවුන් ටැටූ මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන ගියහ.

නැකතට පහන් දල්වා ටැටූ ආයතනය විවෘත කළේය. ක්ලබ් වසන්ත සහ බිරිඳ එහි පසෙක වූ සෝපාවට බර වන්නේ කිරිබත් කෑල්ලක රස බැලීමටය.

එහෙත් ක්ලබ් වසන්තගේ මාරයා ඒ වනවිට දොරකඩ රැඳී සිටියේය. මුහුණු ආවරණය කරගත් කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 අවිවලින් සන්නද්ධව එහි කඩාවැදුණේය. ක්ලබ් වසන්තට හැරෙන්නටවත් කාලයක් ඉතිරිව තිබුණේ නැත. ටී 56 අවි දෙක එකවර ක්‍රියාත්මක වන්නේ මුළු අතුරුගිරියම හෙල්ලුම් තබමින්ය.

තත්පර 20ක් ගතවීමටත් පෙර සිය ඉලක්කය සපුරාගත් කුලී ඝාතකයන් නිරුපද්‍රිතව පලා ගියේය. ටැටූ ආයතනයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවල රහස්‍ය අංකය ලබාගෙන තිබූ ලොකු පැටී සහ ප්‍රංශයේ සිටින කංජිපානි ඉම්රාන් වසන්ත ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ආකාරය සජීවීව නරඹමින් තම තිරිසන් ආශාවන් ඉෂ්ට කර ගත්තේය.

ඒ වනවිට තම පරම සතුරකු බවට පත්ව සිටි ක්ලබ් වසන්ත පිට පිට වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මියයන ආකාරය බලමින් මේ තිරිසනුන් දෙදෙනා ඔල්වරසන් දෙමින් ප්‍රීතියට පත් වූහ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ක්ලබ් වසන්ත සහ නයන වාසල ඒ ස්ථානයේදීම අවසන් ගමන් ගොස් සිටියහ.

වසන්තගේ බිරිඳ, කේ. සුජීවා, ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳ සහ තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළේය.

කුලී ඝාතකයන් විසින් ටී 56 උණ්ඩ 27ක් ඒ තත්පර ගණන ඇතුළත එල්ල කර තිබුණෝය. ඉන් උණ්ඩ 8ත් ක්ලබ් වසන්තගේ සිරුර විනිවිද ගොස් තිබුණේය. ප්‍රහාරය සඳහා යොදාගත් ටී 56 උණ්ඩ සියල්ලේම ණඡෂ යන ඉංග්‍රීසි අක්ෂර සටහන් කර තිබුණේය.

පොලිස් විමර්ශනවලින් හෙළිවූයේ ණඡෂ යනුවෙන් සටහන් කර තිබුණේ කංජිපානි ඉම්රාන් යන නමේ කෙටි අක්ෂරයන් යන්නයි.

පාතාල ලෝකයේ කෙරුම්කාරයන් වීමට උත්සහ කරන මැරයන් ඇතැම් අවස්ථාවල තම ශක්තිය පෙන්වීම සඳහා මෙවැනි උපක්‍රම භාවිත කරනු ලබයි.

පාතාලයේ කෙරුම්කාරයන් වීමට මෙන්ම සෙසු පාතාල කල්ලි බියපත් කිරීමට මෙන්ම ආරක්ෂක අංශ තුට්ටුවකට මායිම් නොකරන බව පෙන්වීමට මෙවැනි ක්‍රියා මේ පාතාල මැරයන් කරනු ලබයි.

කංජිපානි ඉම්රාන් සිය නමේ අක්ෂර වෙඩි උණ්ඩවලට භාවිතා කළේ ඒ නිසා විය යුතුය.

කෙසේ වෙතත් රටේ මහා ප්‍රභූවරයකු ලෙස කරක් ගසමින් ප්‍රභූන් ඇසුරු කරමින් ධන කුවේරයකු ලෙස ජීවත් වූ ක්ලබ් වසන්ත අවසානයේදී අතුරුගිරියේ බිත්ති හතරකට කොටු වූ කුඩා බිම් ප්‍රවාහයකදී ඉතාම අවාසනාවන්ත ආකාරයට ජීවිතය හැරගියේ දෛවයේ කිසියම් සරදමක් නිසා විය යුතුය.

මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදී චිකාගෝ ක්‍රමයට එල්ල කළ මේ ප්‍රහාරය සැබැවින්ම පොලිසියට සිදුකළ අතුල් පහරක් බඳු විය.

කොයිතරම් පාතාල මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණද විශේෂ පොලිස් කණ්ඩායම් එස්.ටී.එෆ්. ඒකක ක්‍රියාත්මක වුවද තමන් ඒ කිසිවක් තඹ සතයකට මායිම් නොකරන බව පෙන්වමින් පාතාල මැරයන් එල්ල කළ මේ ප්‍රහාරය මුළු රටම උණුසුම් කරවීමට සමත් විය.

පොලිස් විමර්ශන ආරම්භ වන්නේ ඉන් පසුවය. අතුරුගිරිය පොලිසිය නුගේගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 06ක් ක්‍රියාත්මක වූ අතර පලාගිය ඝාතකයන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කළහ.

මේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රහාරය එල්ල කර පැය කීපයක් ගතවීමට පෙර ටැටූ ආයතනයේ හිමිකරු දුලාන් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය කටයුතු කළේය. ලොකු පැටී මේ ප්‍රහාරය පිටුපස සිටින බව දුලාන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වුණේය. ලොකු පැටීගේ උපදෙස් මත ක්ලබ් වසන්ත ටැටූ ආයතනය වෙත තමන් ගෙන්වා දුන් බව දුලාන් හෙළි කළේය.

එහෙත් දුලාන්ගේ කතාව කොයිතරම් දුරට සත්‍යයද එහි සැඟවූ තැන් ඇත්ද යන්න මෙතෙක් හෙළි වී නැත. සත්‍ය වශයෙන්ම දුලාන් ඉත්තකු ලෙස පාවිච්චි කළේද යන්න තවමත් ප්‍රහේළිකාවකි.

ඒ මන්ද යත් දුලාන්ගේ මව ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරියක වීම නිසාය. මව ලොකු පැටී සමග සබඳතා පවත්වන්නේ නම් දුලාන් ලොකු පැටී නොහඳුනන බව පැවසීම පිළිගත හැකිද? මෙහි සත්‍ය අසත්‍ය බව හෙට දිනයේ හෙළි වනු ඇත.

ක්ලබ් වසන්තට වෙඩි තැබූ ඝාතකයන් පලා ගිය මෝටර් රථය නවගමුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එය සොයා ගත්හ. එදින රාත්‍රියේම ඝාතකයන් නවගමුවේ සිට පලා ගිය වෑන් රථයද බුලත්සිංහල ප්‍රදේශයේ දමා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ වෑන් රථය මාස එකහමාරක් තිස්සේ බෙලිඅත්තේ නිවසක සඟවා තිබූ බව පසුව හෙළි විය.

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් පසු මුළු රටම උණුසුම් වුණේය. සමාජජාලා වෙබ් අඩවි විවිධ දේ ප්‍රචාරය කරන්න වුණේය. ප්‍රධාන මාධ්‍යද තරගයට මෙන් මේ පිළිබඳ තෙරතුරු ප්‍රචාරය කරන්න වුණේ මහජනතාව තුළ ඒ තරමට මේ ගැන දැඩි උනන්දුවක් තිබූ නිසාය.

ක්ලබ් වසන්ත ඝාතනයට ලක්වී පැය 24ක් ගතවන්නට පෙර ඊට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.

ඒ අතර ටැටූ ආයතනයේ හිමිකරු දුලාන් මෙන්ම ඔහුගේ මිතුරා වූ මහේෂ්ද විය. දුලාන් ලොකු පැටීව මාට්ටු කරදී තිබුණේ මහේෂ් බව හෙළි වී තිබුණේය.

එමෙන්ම මෙම ඝාතනයේ කුලී ඝාතකයන්ට පලා යෑමට වාහන පහසුකම් සලසා දුන් පුද්ගලයන් මෙන්ම ඔත්තු බැලූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටියහ.

එහෙත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු අමු අමුවේ වෙඩි තබා ඝාතනය කළ කුලී ඝාතකයන් දෙදෙනා තවමත් නිදැල්ලේය. ඔවුන් බොහෝවිට ආරක්ෂක අංශවලට සම්බන්ධ සාමාජිකයන් දෙදෙනකු විය හැකි බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් ප්‍රංශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටින කංජිපානි ඉම්රාන් ලබාදුන් නියෝගයක් මත ඩුබායිහි සිටින ලොකු පැටී ඇතුළු පාතාල මැරයන් ක්‍රියාත්මක කළ මෙහෙයුම ඔවුන්ගේ පැත්තෙන් අති සාර්ථක වූ එකක් විය.

විමර්ශන කණ්ඩායම් පවසන්නේ මාකඳුරේ මධුෂ් සමග මුදල් ගනුදෙනු කළ ජනප්‍රිය ගායකයකු, රංගන ශිල්පියකු ඇතුළු තවත් 07 දෙනකුට ජීවිත අවදානමක් ඇති බවයි. කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල මැරයන්ගෙන් මේ පිරිස වෙත ජීවිත තර්ජන එල්ල විය හැකි බවට විමර්ශකයන් සැක පහළ කරයි.

ක්ලබ් වසන්තගේ නිසල දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබුණේ ඇමෙරිකාවේ පදිංචිව සිටින ඔහුගේ වැඩිමහල් පුත්‍රයා එනතුරුය. මේ අතර ජයරත්න මල්ශාලාවේ බලධාරීන්ට ඩුබායි සිට දුරකථනයෙන් කතා කළ නාඳුනන පුද්ගලයකු තර්ජනය කරමින් කියා සිටියේ ක්ලබ් වසන්තගේ දේහය මල් ශාලාවේ තැබුවහොත් ඊට වෙඩි තබා මහා විනාශයක් කරන බවය.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත මල් ශාලාවට දැඩි පොලිස් රැකවරණයක් ලබාදීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් රටේ සාමාන්‍ය ජනතාව අද සිටින්නේ දැඩි භීතියකින් සහ වික්ෂිප්තභාවයකින් යුතුවය. ඒ මන්ද යත් කොයි මොහොතක හෝ මේ පාතාල කල්ලි ක්‍රියාත්මක වෙද්දී තමන්ද ඔවුන්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩ ඇති නිසාය.

රටේ ජනතාව භීතියට පත්කර තරුණ පරපුර විනාශ කරමින් විදෙස්ගතව අති සුඛෝපභෝගි ජීවිත ගත කරන මේ පාතාල නරුමයන් විනාශ කර දමනවා හැර වෙනත් කළ යුතු යමක් නැත.

ඒ සඳහා රජය පොලිසිය මෙන්ම සියලු බලධාරීන් එකතු විය යුතු කාලය පැමිණ තිබෙයි. එසේ නොවුණහොත් පාතාල මැරයන්ට මේ රට භාරදී පොලිසියට සිදුවන්නේ සිල් සමාදන් වීමටය.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: