hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:02



සාරංග දිසාසේකර ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කරන්නට හැකි අති දක්ෂ රංගන ශිල්පියෙක්.

ඒ වගේම තමයි දක්ෂ නිවේදකයෙක්.

මේ දිනවලත් එකිනෙකට වෙනස් වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන සාරංග සමඟ කළ සොඳුරු කතාබහයි මේ.

මේ දවස් වල Take Care ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර දැනෙන්නේ කොහොමද?

ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉන් අදහස් කරන්නේ හොඳ ප්‍රතිචාර පමණක් ලැබෙනවා කියන එක නෙවෙයි. හොඳ හෝ නරක කියන්න වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉදිරිපත් වෙනවා. ඒක තමයි නිර්මාණකරුවන් විදියට අපි ලබපු සාර්ථකත්වය. මෑත ඉතිහාසයේ මම දැකලා නැහැ මේ තරම් පිරිසක් ටෙලිනාට්‍යයක් ගැන ලියනවා, කතා බහ කරනවා, මත පළකරනවා, අපිව අගය කරනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යය තුළ Take Care ටෙලි නාට්‍යය ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. දැන් අවසානයට ඇවිත් තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් අවසානය අනුමාන කරන්න උත්සාහ කරනවා. එතැන තරගයක් සහ කතිකාවන් නිර්මාණය වෙලා තියෙනවා. ඒක මම දකින්නේ ඉතා සුබ දෙයක් විදියට.

ප්‍රධාන භූමිකාව වගේම Take Care හි නිෂ්පාදකත් ඔබමයි. මෙවැනි ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න ලැබීම මොන විදියට ද දැනෙන්නේ?

ඇත්තටම සතුටුයි. නිෂ්පාදකවරයෙක් විදියට මේ කාලයේ ලොකු ලාභ ඉපැයීමක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක සමස්ත මේ රටේ ආර්ථික තත්ත්වය එක්ක ඇතිවෙලා තියෙන දෙයක්. හැමදේම වියදම් වැඩිවෙලා තියෙන කාලයක ටෙලිනාට්‍යය ක්ෂේත්‍රය තුළින් ලාභ නොලැබුවත් මේ සඳහා යොමු වෙලා ඉන්නේ පවතින නිර්මාණ අතරේ හොඳ නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාව මත. මම නිෂ්පාදකවරයෙක් විදියට ඒ බලාපොරොත්තු වුණු දේ ඉතාම හොඳින් ඉටු වුණා කියලා හිතනවා.

වාසල, මේනකා, අසේනි මේ චරිත ගැනත් කතා කළොත්?

මටත් දිනක්ෂිට සහ රෙබෙකාටත් රංගන ශිල්පීන් ශිල්පිනියන් විදියට වටිනාකමක් ගොඩනැගෙන වෙනස් චරිත තුනක් ලැබුණේ. වාසල හරහා රංගන ශිල්පියෙක් විදියට මම වෙනස්ම චරිතයක් කළේ. මේනකා තුළින් දිනක්ෂිටත් අවස්ථාව ලැබුණා ඇය සතු රංගන හැකියාව පෙන්නුම් කරන්න. ඒ එක්කම අසේනි කියන චරිතය තුළින් රෙබෙකා දිල්රුක්ෂි කියන හැංගිලා හිටපු අති දක්ෂ රංගන ශිල්පිනිය Take Care හරහා ජාතික තලයට ගෙන එන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ වෙනකම් ගොඩක් වෙබ් සීරිස් හරහා අප ඇයව දැකලා තිබුණේ. ඒ එක්කම Take Care හි අධ්‍යක්ෂවරයා ගැනත් මතක් කරන්න ඕනේ. අනුෂ්ක රසාංජන කියන අලුත්ම තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා එළියට එනවා. මින් පෙර ඔහුත් වෙබ් සීරිස් කරලා තිබුණට පළමු වතාවට තමයි මේ වගේ ජාතික නාලිකාවක නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේ. පසුගියදා පැවති කැලීන් පොපියුලර් Awards වලත් අපිට සති අන්තයේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය ලැබුණා. ඒ නිසා නිෂ්පාදකවරයෙක් විදියට ආර්ථිකමය වාසි කෙසේ වෙතත් හැම පැත්තකින්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය වඩාත් කතාබහට ලක්වෙන නිර්මාණයක් කිරීම ගැන ලොකුන් සතුටක් තියෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: