hit counter

2024 ඔක්‍තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 03, ප.ව. 1:24



කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා පවසා සිටියේ, පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවයි, ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ඒ සඳහා පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාවය, පුරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටළු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීමට බලපා ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී අවධාරණය කළේ ය.

එම නිසා කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවයි වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

රාජ්‍ය සේවය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය ජනාධිපතිවරයා ලෙස තමන් රකින බවත් රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශකර සිටියේ, පුරවැසියා තෘප්තිමත් කිරීම සදහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අවශ්‍ය බවයි.

රාජ්‍ය සේවය තුළ මෙතෙක් පැවති දේශපාලන පලිගැනීම්, ස්ථාන මාරු කිරීම් හා උසස් වීම් ලබා නොදීම් වැනි ක්‍රියා තම රජය යටතේ සිදු නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින් ද ජනතාව තෘප්තිමත් වන ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බවයි සඳහන්කර සිටියේ.

ඉදිරි දින හතළිහක කාලය සංක්‍රාන්තික කාලයක් වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යාමට රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියේ, ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරුන් පත් කරන බවටද ජනාධිපතිවරයා ඉඟි පළ කළ අතර මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර, එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: