hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 9:35



රුසියාවේ උතුරු කොරියානු සෙබළුන් 10,000 ක් දෙනා මේ වනවිට සිටින බව බටහිර රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු යුක්‍රේන මාධ්‍ය සමග පවසා තිබෙනවා.

මෙම තොරතුර අනාවරණය කෙරුණේ යුක්‍රේන යුධ බිමට උතුරු කොරියානුවන් යොදවනු ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ වෙනත් පාර්ශව විසින් අනාවැකි පළ කෙරෙන පසුබිමකයි.

මේ අතර රුසියාවේ බ්‍රයාන්ස්ක් සහ කුර්ස්ක් පළාත් ආශ්‍රිතව බුර්යාත් බැටෑලියනය නම් සේනාංකයක් ගොඩනගා ඇති බවත් එහි උතුරු කොරියානුවන් 3,000 ක් සිටින බවත් යුක්‍රේන බුද්ධි අංශයන් විසින් යුක්‍රේනියන් ප්‍රව්දා මාධ්‍ය ආයතනය සමග පවසා තිබෙනවා.

එම බුද්ධි අංශයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සෙබළුන් අතුරින් 18 දෙනකු පළාගොස් ඇති බවයි. ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් දියත් කර ඇතැයි ද සඳහන් වුණා.

යුක්‍රේන යුධ පෙරමුණ වෙත උතුරු කොරියානු හමුදා යොදවන්නේ නම් එයින් රුසියානු හමුදාවන් වැටී ඇති අසරණභාවය ඇඟවෙන්නේ යයි ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. උතුරු කොරියානු හමුදාවන් හි ගුණාත්මකභාවය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති අතර ඔවුන් යුධබිමේදී විශාල වශයෙන් මරණයට පත්වනු ඇතැයි ද අනාවැකි පළ වනවා.

උතුරු කොරියානු හමුදා සටන් බිමට යෙදවුවහොත් භාෂා වෙනස හේතුවෙන් ඇතිවන ගැටළුවලට ද මුහුණදීමට සිදුවේ යයි අපේක්ෂා කෙරෙනවා. ඇතැම් විචාරකයන්ගේ මතය වන්නේ උතුරු කොරියානුවන් සටනට යොදවන්නේ නම් මුලින්ම ඔවුන් රුසියාවේ කුර්ස්ක් ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරෙනු ඇති බවයි.

Example Image