hit counter

2024 දෙසැම්‍බර් මස 11 වන බදාදා

2024 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:02



මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

‘2024 ජනවාරි මාසයට පෙර පැවති ලෙස පොත් වැට් බද්දෙන් නිදහස් කරගනිමු’ යනුවෙන් එම සංගමය ඊයේ (10) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර සිටියේය.

මෙම බදු පැනවීම හේතුවෙන් සමස්ත සමාජයට, ප්‍රකාශකයන්ට, ලේඛකයින්ට, පොත් ආනයනකරුවන්ට සහ විකුණුම්කරුවන්ට අහිතකර බලපෑම් සිදුව ඇති බව පෙන්වා දුන්නේය.

එනිසා ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාපනය, සංස්කෘතිය හා පුද්ගල සංවර්ධනය සඳහා පොත්, වැට් බද්දෙන් නිදහස් කරගැනීම තීරණාත්මක සාධකය් බව පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් පෙර රජයේ මුදල් අමාත්‍යංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් අදාළ බලධාරීන්ට දිගින් දිගටම ඉල්ලීම් කළත්, ලිපි ලැබුණු බව සඳහන් කළ පිළිතුරු ලිපි පමණක් ඔවුන්ගෙන් ලැබුණු බව පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන මෙම අර්බුධයට පිළියමක් ලෙස ඉදිරි අයවැයෙන් මෙම බද්ද ඉවත්කරන යැයි ඉල්ලීමක් කර තිබෙන බවයි.

තවදුරටත් අදහස් දැක්වූ සමන්ත සමරසිංහ මහතා,

“අපේ මූලික පරමාර්ථය පසුගිය රජය සමයේ මුද්‍රිත පොත් සඳහා පැනවූ 18%ක එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) ඉවත්කරගන්න. ලාංකීය ඉතිහාසයේ කොහෙවත් තැනක පොත්වලට වැට් හෝ වෙනත් බද්දක් පනවලා නෑ. 1950දී ශ්‍රී ලංකාව ෆ්ලොරන්ස් ගිවිසුමට අත්සන් කරලා තියෙනවා බුද්ධිමය දේපොළ යටතේ බදු අය නොකරන බවට. මේ වැට් බද්ද හරහා ඒකත් උල්ලංඝණය වෙලා.

පොතක් නිෂ්පාදනය කරනකොට මිනිස් ශ්‍රමය හැරුණාම ඉතිරි සියල්ලම ආනයනික තත්ත්වයේ තියෙන්නේ. ආනයනික දේවල්වලට එකතැනකින් වැට් බද්ද අයකරනවා. මුද්‍රණය කරද්දී නැවත අයකරනවා. අවසානයේ මුද්‍රිත පොතටත් පසුගිය රජය වැට් බද්ද පනවන්න ගත්තා. අවස්ථාවෙන් අවස්ථාවට බදුවලට බදු එකතුවීමක් වෙලා තියෙන්නේ. 

බදු පැනවීමෙන් පොතක මිල සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක පාඨකයාට දරාගන්න බෑ. මේ නිසා ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා වත්මන් ආණ්ඩුවට ඉල්ලීමක් කර තිබෙනවා ඉදිරි අයවැයෙන් මේ වැට් බද්ධ ඉවත්කරන්න කියලා”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: