hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 22, පෙ.ව. 12:05



සියලු සත්වයින්ට කරුණාව, දයාව, මෛත්‍රීය පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

බුදුන් වඳින්න එන ඌරු පැටියා විදිහට අපේ රටේ කා අතරත් ප්‍රසිද්ධ, අපේ රටේ සුන්දර සිරි නරඹන්න, බෞද්ධ සිද්ධස්ථාන දැකබලාගන්න, වැඳපුදාගන්න ලංකාවට එන ලක්ෂ සංඛ්‍යාත විජාතික සංචාරකයින් අතරත් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන, හැමෝම එක්ක හුරතල් වෙන්න ආස ඌරු පැටියා තමයි මේ ඉන්නේ.

මෙයාගේ නම අකීරා.

විවේකයක් ලැබුනොත් රත්නපුර, මිණිපුර, අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයට ගිහින් දරු පැටියෙක් වගේ ඉන්න මේ ඌරු පැටියාව දැකලා, ආදරය කරලා එන්න.

පුංචි සාදුලා බණ අහන වෙලාවට එයාලා ඉන්න තැනට ඇවිත් බණ අහන්නත් අකීරා හරිම කැමතියි.

“ගොඩක් හීලයි. මේ බණ කියනකොට එහෙම ඇවිල්ලා හරි අහිංසකයි කාටවත් හිරිහැරයක්වත් නෑ මෙයා. ගොඩාක් හොඳයි.” අකීරා ගැන පොඩි හිමිනමක් එසේ සඳහන් කළා.

තපෝවනයේ පූජ්‍ය රතන හාමුදුරුවන් අකීරා ගැන මෙසේ සඳහන් කළා.

“අකීරා බුදුන් වඳින්න එන ඌරු පැටියා විදිහට රට පුරාමත්, ලෝකය පුරාමත් බොහෝ දෙනා අතර දැන් හුඟක් ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. හුඟක් අය එයාට හරිම ආදරෙයි. හුඟාක් කට්ටිය ආරණ්‍ය සේනාසනයට එයාව බලන්නත් එනවා. රත්නපුර, මිණිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයේ තමයි අපි ඉන්නේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක අතරමං වෙච්ච ඌරු පැටියෙක් විදිහට තමයි අකීරා මුලින් ඉඳලා තියෙන්නේ. එක මහත්මයෙක් නිවසේ අකීරාව හොඳට ආදරෙන් රැකබලාගෙන ඉන්පස්සේ අපිට ගෙනල්ලා බාර දුන්නා. දැන් බොහෝ කාලයකට කලින් අපිට අපි ළඟට එන කොට අකීරා බොහොම පුංචි ඌරු පැටියෙක්. ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ සමීපතම යහළුවා තමයි අකීරා. පොඩි ස්වාමීන් වහන්සේලා ස්නානය කරන්න පල්ලෙහා පීල්ලට යනකොටත් අකීරා ඒ පිටිපස්සෙන් නාන්න යනවා.

ඒ වාගේම බුදුන් වදිනකොට ඒ බුද්ධ වන්දනාව අවසන් වෙනකන්ම එතන එහා පැත්තේ එයා ඉන්නවා. ඒ වගේම පිණ්ඩපාතේ වඩිනකොටත් ස්වාමීන් වහන්සේලාගේ පිටිපස්සේ අකීරා එනවා. මේ දානේ වළදාලා ඉවර වෙනකන් මෙතෙන්ට වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලාත් එක්කමයි ඉන්නේ. නිතරම අකීරා ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන අපේ ආරණ්‍යයේ බුදුන් වඳින ධාතු මන්දිරය ළඟ තමයි වැඩිපුරම ඉන්න කැමති. එන ඕනෑම කෙනෙක්ට අකීරව දැක බලා ගන්න පුළුවන් ස්ථානයක් එතන. සියලුම සත්වයින්ට මෛත්‍රීය පතුරවන්නට ඕනේ.

උපන් නූපන් සියලුම සත්වයින්ට මෛත්‍රීය පතුරවන්න ඕන බුදුරජාණන් වහන්සේ ඒ බව දේශනා කළා. සියලු සත්වයින්ට කරුණාව, මෛත්‍රීය පතුරවන්න ඕන. අකීරා වගේ අහිංසක සත්වයින්ගේ මස් මාංශ ඔවුන්ව මරලා කිසි කෙනෙක් අනුභව කරන්න එපා. ඒ සත්වයින්ට අභයදානය දෙන්න. බුද්ධිමත් සතුන් අතර ඉහළම ස්ථානයක ඉන්න සත්වයෙක් තමයි මේ ඌරු වර්ගය කියලා ඒ කියන්නේ මේ අකීරා වගේ ඌරා. ඒ අයට හොඳට තේරෙනවා. ඒ අය හොඳටම හීලෑ වුණාට පස්සේ, ඒ කට්ටිය අපේ ඇසුරෙදි හරියට ගෙවල්වල හුරතලේට හැදෙන බල්ලන්ටත් වඩා බොහොම හොඳට හීලෑ වෙනවා. එයාලට හොඳට තේරෙනවා. ඒ වගේම එයාලා ගොඩක් ආදරේ වැඩි වුණාට පස්සේ, එයාලගේ හඬින් පුංචි සියුම් හඬකින් තමයි ආදරය ප්‍රකාශ කරන්නේ. ඒ කට්ටිය ගොඩක් හරිම ආදරණිය සත්ව පිරිසක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: