hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 25, ප.ව. 1:17



ලෝක සංචාරක රූ රැජින 2023 තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ වනුයේ ඒ හරහා මෙරට සංචාරක කර්මාන්තයේ වඩා විධිමත් ප්‍රවර්ධනයක් ඇති කිරීම බව ලෝක සංචාරක රූ රැජින තරග ප්‍රධාන වැඩසටහන් සම්බන්ධිකාරක රධීකා ගුණවර්ධන පවසනවා.               

මේ මස 29 දින ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක සංචාරක රූ රැජින 2023 තරගය සඳහා සහභාගි වන රටවල් 28 රූමතියන් මහනුවරට පැමිණි අවස්ථාවේ ඇය ඉහත අදහස් පළ කළා.                                           

ලෝක සංචාරක රූ රැජින තරගයට සහභාගි වන රටවල් 28 ක රූමත් තරුණියන් ඊයේ (24) හා අද (25) දෙදින මහනුවර ආශ්‍රීත සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වූ අතර ඔවුන් කුණ්ඩසාලේ ජායිපූර් කෘතිම පාද මධ්‍යස්ථානය හෙවත් සෙන්ටර් ෆෝ හැන්ඩිකැප්ඩ් ආයතනය වෙත ගොස් ආබාධිත කුඩා දරු දැරියන් 20 දෙනෙකු සඳහා කෘතිම පාද ලබාදීම වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්නා.                     

මෙම ආබාධිත දරු දැරියන් සමග ගී ගයා නර්තනයන්හි නියැළුණු මෙම තරුණියන් ඔවුන් හමුවේ ඉතාමත් සංවේදී වූ ආකාරයද දැකගත හැකි වුණා.                                                                                                                   

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන තරුෂි කුලතුංග කියා සිටියේ මෙම තරඟය ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා විශාල පිටිවහලක් වන බවත් මෙම සියළු රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ අසරණ දරු දැරියන් සඳහා උපකාර කිරීමට වඩාත් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

මෙම කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආගමික වතාවත්හි නිරත වූ අතර මෙම තරුණියන් සහභාගී වන සමාජ සත්කාර ක්‍රියාකාරකම් උදෙසා රොටරි සමාජය දායකත්වය දක්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: