hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 11, පෙ.ව. 1:12



මාලබේ හල්බරාවේ පදිංචි අවුරුදු පහයි මාස හයක් වයසැති ජොනතන් මාර්ක් ෆොන්සේකා නැමැති දරුවාගේ මළ සිරුර ප්‍රදේශයේ වැඩ බිමක තිබියදී පෙරේදා පස්වරුවේ හමු වුනා.

ඒ උදරයේ කැපුම් තුවාලයක්ද සහිතවයි.

දරුවාගේ මරණය සැලවීමට පැයකට පමණ පෙර ප්‍රදේශයේ කාන්තාවක් දරුවා එම වැඩ බිමේ සිටින ආකාරය දැක තිබුණා.

“මම වැඩ ඇරිලා එන කොට මේ පුතා වත්තේ මැදක් හරියේ හිටියා. තණකොළ කපන එක්කෙනෙක් හිටියා. එහා පැත්තට වෙන්න.”

මුල්ලේරියාව පොලිසිය තණකොළ කැපූ පුද්ගලයාගෙන් දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පාපොච්චාරණය කර තිබුණේ තණකොළ කපන යන්ත්‍රයේ තලය දරුවාගේ උදරයේ ගැටී බරපතළ කැපුම් තුවාල සිදුවී දරුවා මියගිය බවයි.

ඔහු ඊයේ පස්වරුවේ මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

51 හැවිරිදි එම පුද්ගලයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරුවේ ඉදිරිපත් කෙරුණු අතර ලබන ජුනි පහළොස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

දරුවාගේ දේහය භාරකරුවන් වෙත පෙරේරා රාත්‍රියේ භාර දුන් අතර දේහය තලාහේන පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

මවගෙන් සහ දරුවාගෙන් වෙන්ව ජීවත් වූ පියාද සිය පුතුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.

“තාත්තා මං තමයි දරුවාගේ. කඩේකින් ආරංචි වෙලා මේ බලන්න ආවේ අපි.”

පුංචි ජොනතන්ට සිය ජීවිතයෙන් සමු ගැනීමට සිදු වුණේ තලාහේන මහා විද්‍යාලයේ පළමුවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී.

ඔහුට පාසල් යාමට සිදුව තිබුණේද මාස දෙකක කාලයක් පමණයි.

එම කාලය තුළ ඔහුට ගුරුහරුකම් ලබාදුන් ගුරුවරු ඔහු සමඟ එක ම පන්තියේ ඉගෙනුම ලැබූ යහළු යෙහෙළියන් ඔහුට සමු දීමට ඊයේ පැමිණ සිටියා.

“ජොනී අපේ හොඳම යාලුවා.”

“මගෙත් හොඳම යාළුවා” යනුවෙන් යහළුවන් සඳහන් කළා.

“අනාගතයේ හොඳ දරුවෙක් වෙන්න තිබුණු කෙනෙක් තමයි මේ විදියට අහිමි වෙලා තියෙන්නේ.” තලාහේන මහා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙසේ සඳහන් කළා.

පන්ති භාර ගුරුවරිය මෙසේ සඳහන් කළා,

“මාර්තු 28 කිරි කොකෙක් වගේ මට භාර දුන්නු මේ මැණික අද නැති වුණා. මම මේ නිවාඩු දෙන දවසෙත් කිව්වා අම්මලාට දරුවව සති දෙකයි තියෙන්නේ ඕගොල්ලන්ට බලාගන්න. පරිස්සමෙන් දරුවන්ව බලාගන්න. සඳුදා මට පන්ති කාමරයට යන කොට මේ දරුවගේ පුටුව හිස් එයාගේ කබඩ් එක හිස්. ඉතින් මං කොහොමද මගේ නාම ලේඛනයේ නම කපන්න වෙනවා. මට හරිම දුකයි. මං දැන් මළගෙදර ආපු වෙලෙත් මං අම්මට කිව්වේ, අම්මේ, ඇයි ඔයාට මේ සති දෙක දරුවා බලාගන්න බැරි වුණේ කියලා.”

“ඇත්තටම රත්තරන් දරුවෙක්. හරිම දක්ෂයි. සෑහෙන්න දුකයි ඉතින්. අම්මලාට කියන්න තියෙන්නේ දරුවෝ බලාගන්න කියලා. ගොඩක් පරිස්සමෙන්.” ජොනතන්ගේ පෙර පාසල් ගුරුවරිය හඬා වැටෙමින් මෙසේ සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: