hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 මාර්තු 26, පෙ.ව. 4:47



හාලිඇළ බෝගොඩ ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු බෝගොඩ ඔයේ තිබිය දී සොයා ගත්තා.

අදාළ දරුවන් දෙදෙනා වයස අවුරුදු 10 හා වයස අවුරුදු 07 පසුවෙනවා.

ප්‍රදේශයේ කුඩා දිය පහරකින් එගොඩවීමට උත්සාහ කිරීමේදී 23 වනදා පස්වරුවේ එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා තිබුණා.

ප්‍රදේශයට ඇති වූ වර්ෂාව දරුණු වීම නිසා මෙම දිය පහර සැඩ වී ඇති බව ප්‍රදේශ වාසීන් පවසනවා.

දැරියගේ සිරුර ඊයේ රාත්‍රියේ ද පිරිමි දරුවාගේ සිරුර පෙරේදා (24) පෙරවරුවේ ද සොයාගත් බව පොලීසිය පැවසුවා.

තම මව නිවසට නොපැමිණීම හේතුවෙන් 10 හැවිරිදි පිරිමි දරුවා (අයියා) සහ 07 හැවිරිදි දැරිය (නංගී) මව සොයා නිවසින් පිටවූ අවස්ථාවේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අසල නිවසක කුලී රැකියාවකට ගිය මව නිවසට පැමිණෙන විට දරුවන් නොසිටීම නිසා දරුවන් පිළිබඳ සොයා බැලීමේ දී මෙම අනතුර සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

එහිදී ඔවුන්ගේ කුඩයක් සහ හිස් වැසුමක් දියපහර ආසන්නයේ තිබී ප්‍රදේශවාසීන් විසින් සොයා ගැනීමෙන් පසු දරුවන් දියපහරට ගසාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබුණා.

දරු පැටවුන් අහිමිව වැලපෙන මාලිකා මෙසේ තම දුක කියා සිටියා.

“මම වෙනදා වගේම ඊයෙත් ළමයින් සූදානම් කරලා පාසල් යවන්න හදනකොට ඒ දෙන්නා කිව්වා “අම්මා අද අච්චු පොත් දෙනවා” කියලා. පස්සේ මමත් එයාලත් එක්ක 06.45ට විතර ඉස්කෝලෙට ගියා. ඒ යනකොට මට කිව්වා චීස් කෑලි දෙකක් අරන් දෙන්න කියලා. මම ඒකත් අරන් දුන්නා. ඒ වෙලාවේ “අම්මා අපි මේක කාලා එන්නම්” කිව්වා. පස්සේ මම ගෙදර ඇවිත් ඉස්කෝලෙන් දීපු පොත් ටික ගෙදරින් තියලා එහා පැත්තේ අයියලාගේ වත්තට ගියා තේ වත්ත උදලු ගාන්න. ගිහින් දවසම වැඩ කරා. මම යනකොට මගේ දරුවෝ දෙන්නට කන්න බත් උයලා තියලා ගියේ. හවස හතරට වැඩ අරින කොට ගොඩක් හයියෙන්ම වහිනවා. පස්සේ මම ටික වේලාවක් ඉඳලා ගෙදරට එන්න පිටත් වුණා. ඒ එනකොට ගෙදර යන්න තියෙන පාරේ තියෙන කදුරේ ලොකු වතුර පාරක් එනවා. මට එගොඩ වෙන්න බැරි තරම් දිය පාර සැරයි. පස්සේ මම එහා ගෙදර අක්කට කෝල් එකක් දීලා කිව්වා “අක්කා මට එන්න බෑ වතුර පාර සැරයි, දරුවෝ දෙන්නට කියන්න බය නැතිව ඉන්න කියලා.” ඒ අක්කත් එවලේ කිව්වා හරි නංගි නැන්දාත් ඉන්නවා නේ බය වෙන්න දෙයක් නෑ කියලා. එතකොටම මාත් එක්ක වැඩ කරපු අනිත් පුතත් ආවා මම එයාටත් කිව්වා “පුතා යසිඳුට කියන්න බය නැතිව ඉන්න මම එනවා” කියලා. පස්සේ මම විනාඩි පහළොවකට වඩා එතැනට වෙලා හිටියා.

අවට තිබුණු ගස් ටිකක් අල්ලා ගෙන අමාරුවෙන් කදුරෙන්  එගොඩ වෙලා ඇවිල්ලා දෙන්නටම අඬ ගැහුවා “කොල්ලා, කොල්ලා” කියලා මම එයාට ආදරේට කොල්ලා කියනවා දුවට ‘සුද්දි’ කියනවා. ඒත් සද්දයක් නැති නිසා දොර ළඟට ඇවිත් බලන කොට ‍ෙදාර ලොක් කරලා පස්සේ වෙනදාට යතුර තියලා යන ගල යට බැලුවා යතුර තියෙනවාද කියලා එතැන තිබ්බෙත් නෑ. පස්සේ අල්ලපු ගෙදර අක්කාගෙන් ඇහුවා “අක්කා පොඩි උන් දෙන්නා කොයිද” කියලා එයා කිව්වා නංගි අපේ ගෙදරට ආවේ නෑ කියලා. පස්සේ ගෙදර ‍ෙදාර ජනෙල්වලට ගහලා කෑ ගැහුවා “පුතා පුතා” කියලා. සද්දයක් නැති නිසා අල්ලපු ගෙදර අක්කාට කිව්වා “අක්කා කවුරු හරි එවන්න ‍ෙදාරේ උඩ ලැටිස් එකෙන් පනින්න” කියලා. ඒ ගෙදර පුතෙක් ඇවිත් එතැනින් ගේ ඇතුළට ගිහින් කෑ ගැහුවා “නැන්දා ගේ ඇතුළේ කවුරුත් නෑ” කියලා. මම අහල පහල අයගේ ටෙලිෆෝන්වලට කෝල් අරන් බැලුවා ඒ අය කිව්වා “ආවේ නෑ කියලා.” පස්සේ අපි එහා පැත්තේ තියෙන කදුර දිගේ පල්ලෙහාට යනකොට දුවගේ සෙරෙප්පු දෙකයි, කුඩේකුයි, සරමකුයි කදුර අයිනේ තිබුණ. ඊට පස්සේ පොලිසියයි හමුදාවයි ගමේ අයයි ඇවිත් කඳුරේ තිබිලා මගේ දුවගේ මිනිය රෑ නවයට විතර හොයා ගත්තා. පසුදා උදේ තමයි පුතාගේ මිනිය හම්බ වුණේ.මම මගේ දරුවන් දෙන්නට මෙහෙම විපතක් වෙනවා කියලා දන්නවා නම් උන් දෙන්න ගෙදරින් එළියට නොදා බලාගන්නවා”  ඇය පැවැසුවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: