hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 13, පෙ.ව. 10:19



උදරයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පෙරේදා (11) ඇතුළත් කළ තරුණියක් එන්නත් දෙකක් ලබාදී සුළු වේලාවකට පසු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පේරාදෙණිය රෝහල සහ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ පොත්තපිටිය, අලගල්ල ප්‍රදේශයේ පදිංචි චමෝදි සංදීපනි මධුෂිකා ජයරත්න නමැති 21 හැවිරිදි තරුණියක්.

උදරාබාධයක් හේතුවෙන් පසුගිය 10 වැනි දින යටිනුවර, කැටපිටිය ප්‍රාථමික රෝහලට ඇතුළත් කළ තරුණිය පසුදින ගිලන් රථයකින් ඇගේ මව සමඟ පේරාදෙණිය රෝහලට මාරුකර එවා තිබෙනවා.

හදිසි ප්‍රතිකාර ඒකකට පෙරවරු 9.00ට පමණ ඇතුළත් කළ තරුණිය දහවල් 12.30ට පමණ හතේ වාට්ටුවට යොමු කළ බව මරණයට පත්වූ තරුණියගේ මව සඳහන් කළාය. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එදින පස්වරුවේ හෙදියක විසින් එන්නත් දෙකක් ලබාදීමෙන් පසු තම දියණිය එක්වරම නිල් පැහැ වී මරණයට පත් වූ බව තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පැවසුවා.

මෙම මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ පියා වන වයි. ජී. ජයරත්න මහතා මෙසේ සඳහන් කළා.

“දුව බඩ රිදෙනවා කිව්වා. බඩඑළිය සහ වමනය තමයි තිබුණේ. සදුදා කැටපිටිය රෝහලට ඇතුළත් කළා. දුවට සුවයක් නොතිබුණ නිසා අඟහරුවාදා (11) එයාව ගිලන් රථයෙන් පේරාදෙණියට මාරුකර එව්වා. දුවත් එක්ක අම්මත් ඒ වාහනේ ආවා. උදේ 10.00ට විතර දුවව හදිසි ප්‍රතිකාර ඒකකට ඇතුළු කරලා ප්‍රතිකාර ලබා දුන්නා. සේලයින් එකක් දීලා 12.00ට විතර 07 වාට්ටුවට දැම්මා. හවස තුනට විතර සේලයින් එක්ක දීලා ඊට ටික වෙලාවකට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා. ඊට පස්සේ තමයි දුව නැති වුණේ කියලා එයා ළඟ හිටපු මගේ බිරිය කිව්වා. වනේ වන හතුරකුටවත් මෙහෙම අපරාධයක් වෙන්න එපා. මගේ දුව උසස් පෙළ කරලා තවත් ඉහළට ඉගෙන ගන්න තමයි හිටියේ.”

මියගිය තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය මෙසේ පැවැසුවා.

“වාට්ටුවේ මිසී කැනියුලා එකෙන් තමයි හවස 3.30ට විතර ඉන්ජෙක්ෂන් එක දරුවට දුන්නේ. ඒක ගැහුවට පස්සේ දුව කිව්වා අම්මා අත ටිකක් කකියනවා කියලා. මම ඒක කිව්වම නර්ස් නෝනා මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොටම අම්මා මගේ ඇස්වලින් සැරක් එනවා කියලා දුව කෑ ගැහුවා. ඊට පස්සේ දුව සේලයින් එකත් එක්කම ටොයිලට් එකට දිව්වා. මම මොකද දුවේ කියලා එයාගේ පස්සෙන් දිව්වා. දුව සින්ක් එකේ ඔළුව ගහගෙන හිටියා. එයාගේ කටින් සෙම ආවා. මුහුණ අතපය, අතේ ඇඟිලි පවා නිල් වුණා. අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා.

එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව උස්සගෙන වාට්ටුවට අරන් ආවා. ඇඳට දාලා එයාගේ පපුව තෙරපනවා මම දැක්කා. ඒත් මගේ දුව ආයේ ඇස් ඇරියේ නැහැ. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා මම කෑගැහුවා. ඇයි මගේ ළමයට මේ වගේ බෙහෙතක් විද්දේ කියලා මම කෑ ගහලා ඇහුවා. හැමෝම බයවෙලා වගේ බලාගෙන හිටියා. හොඳට කතා කර කර හිටිය ළමයා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසයි. මට හිටපු එකම ගැහැනු ළමයත්  නැතිවුණා. මේකට පේරාදෙණිය රෝහල සම්පූර්ණ වග කියන්න ඕන.”

සිද්ධිය  පිළිබඳව විමසූ අවස්ථාවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පාලානාධිකාරියේ ප්‍රධානියකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ඊයේ (12) පස්වරුවේ සිදු කරනු ලැබුවා.

මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසත් මෘත ශරීරය අවසන් කටයුතු සඳහා ඥාතීන් වෙත භාරදෙන ලෙසත් දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: