hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූනි 09, ප.ව. 2:03



එල්ලී මියගොස් ඇතැයි සැක කරන 22 හැවිරිදි මවකගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක දරුවෙකු දිගින් දිගටම හැඬීම නිසා එම මවගේ මළසිරුර සොයා ගැනීමට හැකි වූ පුවතක් ගම්පොළ පුපුරැස්ස පොලිස් වසමෙන් අසන්නට ලැබෙනවා.

පුපුරැස්ස, ඩෙල්ටා වත්ත උතුරු කොටසේ මවක් මෙසේ මියගොස් තිබුණා.

එස්. ස්වර්ණා නමැති මෙම මව නිවස තුළ කිසිවකුත් නොමැති අවස්ථාවක රෙදි කැබැල්ලකින් නිවස තුළ එල්ලී මියගොස් තිබී ඇත්තේ කැසට් රෙකෝඩරයද මහ හඬින් දමාගෙනයි.

එයින් නැඟෙන ගීත හඬ පරයමින් කුඩා දරුවකු බොහෝ වේලාවක් හඬන අයුරු ඇසුණු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාව වහළයේ එල්ලී සිටින අයුරුත්, දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන හඬන අයුරුත් දැක අවට සිටින පිරිසට ඒ බව දන්වා තිබෙනවා.

ඔවුන් පැමිණ වහාම රෙදි පොට කපා ඇය බිමට ගෙන එම වත්තේ වෛද්‍යවරියට මෙය දැන්වීමෙන් පසු ඇය පැමිණ මෙම කාන්තාව මියගොස් ඇති බව දන්වා තිබෙනවා.

ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක්ද හමුවී තිබෙනවා.

“රත්තරන් ඔයා පරිස්සමට… මම යනවා. මීට මමා” යැයි එහි සඳහන්ව තිබී තිබෙනවා.

මෙම කාන්තාවගේ සැමියා එම වත්තේ සේවකයකු වන අතර ඔහු මෙම මරණයට හේතු නොදන්නා බව පවසා තිබෙනවා.

ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා එම ස්ථානයට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස දන්වනු ලැබුවා.

ගම්පොළ ස්ථානීය අපරාධ පරීක්ෂණ අංශයේ උ.පො.ප. ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙහි විද්‍යාත්මක පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

පුපුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මනෝරංජන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති මංජුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙහි පරීක්ෂණ සිදු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: