hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 11:28



“දුවව කොළඹ යන වෑන් එකට දාලා ආපහු අපි ගෙදර එන අතරතුරේදී ගෙදරට මීටර් සීයක් විතර තියෙද්දී තමයි මහත්තයා කිව්වේ මගේ පපුව රිදෙනවා කියලා. ඊට පස්සේ කිව්වා, වම් අත රිදෙනවා කියලා. ඒ කියනවත් එක්කම එයාට වාරු නැති වෙලා ගියා. එතකොටම වාහනේ අනිත් පැත්තට ගියා. මම එක පාරටම වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා වාහනය නවත්වා ගන්න උත්සාහ කළා. ඒත් වාහනය ළඟ තිබුණු අඹ ගසේ වැදිලා තමයි නතර වුණේ. එතකොටත් මහත්තයාට සිහිය නෑ. කටින් සෙම ටිකකුත් ඇවිල්ල තිබුණා. මම එවෙලෙම මහත්තයාගේ මල්ලිට කෝල් කරලා වෙච්ච දේ කිව්වා. එතකොටම අහල පහළ අය දුවගෙන ආවා. මහත්තයාගේ මල්ලි ආවට පස්සෙ අපේ වාහනේම දාගෙන මහත්තයා ඉක්මනින් හොරණ හොස්පිට්ල් එකට අරගෙන ගියා. ඒත් ඒ වෙනකොටත් මහත්තයා නැති වෙලා.” හෘදයාබාධයක් හේතුවෙන් අකාලයෙන් ජීවිතයෙන් සමු ගත් තරුණ වෛද්‍යවරයකු වූ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ඉංගිරිය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක සිසිත් ගමගේ මහතාගේ ආදරණීය බිරිය වූ චමිලා නිදර්ශන සිල්වා මහත්මිය පැවැසුවා.

ඇය මෙලෙස පැවැසුවේ මිය ගිය තම සැමියා වෙනුවෙන් හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා සිදු කළ මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි දෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇය මෙසේ ද පවසා සිටියා.

“මගේ මහත්තයාට කවදාවත් කිසිම අසනීපයක් තිබුණෙ නෑ. කලින් දවසෙත් වැඩට ගිහින් එන ගමන් දරුවත් අරගෙන ගෙදරට ආවා. ඊට පස්සේ කෑමත් කාලා වවුල්ගල එයාගේ ඩිස්පැන්සරියට ගිහින් රෑ නවයට විතර තමයි ගෙදර ආවේ. රෑට පළතුරු ටිකක් කාලා ටික වෙලාවකින් කිව්වා, ගෑස්ටික් වගේ පපුව දැවිල්ලයි කියලා. ඊට පස්සේ තනියම හොරණ ගිහින් හොරණ පුද්ගලික හොස්පිට්ල් එකකින් ඊසීජී එකක් අරගෙන ආවත් ඒකෙ වෙනසක් තිබුණේ නෑ. පහුවෙනිදා උදේ පාන්දර නැගිටලා අපි දෙන්නා පාන්දර 5.20ට විතර අපි පදිංචිව සිටින නිවාස යෝජනා ක්‍රමය ඉස්සරහ ගේට්ටුව ළඟට වාහනෙන් ගියා අපේ දුවව පාසල් යන වෑන් එකට දීලා එන්න. දුව දීලා ආපහු එනකොට මහත්තයා කිව්වා පපුව රිදෙනව කියලා. එතකොට ගෙදරට මීටර් සීයක් විතර ඇති. මහත්තයා කිව්වා, අපි ගෙදර ගිහින් ඇඳුම් මාරු කරගෙන හොස්පිට්ල් එකට යමු කියලා. තව මොහොතක් යන්න වුණේ නෑ.. වම් අත රිදෙනවා කිව්වා. ඒ කියනවත් එක්කම එයාට වාරු නැති වෙලා ගියා. වාහනය පැත්තකට ගියා. මම එක පාරටම වාහනයේ හෑන්ඩ් බ්‍රේක් ඇදලා නවත්තන්න උත්සාහ කළා. ඒත් වාහනය අඹ ගහක වැදිලා තමයි නතර වුණේ. එතකොටත් මහත්තයාට සිහිය තිබුණේ නෑ. කටින් සෙම ටිකකුත් ඇවිල්ලා තිබුණා. මම ඒ මොහොතේම මහත්තයාගේ මල්ලිට කෝල් කළා.”

මිය ගිය වෛද්‍ය සේනක ගමගේ මහතාගේ සොහොයුරු ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ හොරණ ඉංජිනේරු සුරාජ් සංජීව මහතා මෙසේ පැවැසුවා.

“අපේ පවුලේ සහෝදරයෝ තුන්දෙනයි. අපි ඉතාම සමඟියෙන් සහයෝගයෙන් හිටිය පවුලක්. නැති වුණ අයියා රෝගී නිරෝගී සියලු දෙනාගේම හොඳ හිත, ආදරේ දිනා ගත් තරුණ වෛද්‍යවරයෙක්. වෙදකමට වඩා හෙදකමෙන් ඔහු රෝගීන් සුවපත් කළා. බොහෝ දෙනා කිව්වේ හිනාවෙලා අයියා කතා කළත් ලෙඩේ සනීප වෙනවා කියලා. පහුගිය කොරෝනා කාලෙ මිනිසුන් වෙනුවෙන් පුදුමාකාර සේවයක් ඔහු කළේ. දවල් රෑ කෑමක් බීමක් නැතිව පුදුම කැපවීමක් හැම තිස්සෙම ලෙඩුන් වෙනුවෙන් සිදු කළා.

ඒ විතරක් නෙමෙයි එයා විදත් සහ මුද්‍රිත මාධ්‍යවලින් නිතරම රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු නිරත වුණා. කිරිපිටිවල තිබෙන විස සහිත බව, රසකාරකවල තිබෙන පිළිකා පිළිබඳ, ඩෙංගු වසංගතය පිළිබඳ මේ සියලු දෑ පිළිබඳව අයියා ජනතාව දැනුම්වත් කටයුතු කළා. ඇත්තටම අයියගේ අභාවය අපේ පවුලට විතරක් නෙමේ මුළු රටටම විශාල පාඩුවක්.”

හොරණ ගුරුගොඩ පර්ත් පැරඩයිස් නිවාස සංකීර්ණයේ ටික දුරක් යන විට වෛද්‍ය සේනක මහතාගේ නිවෙස පිහිටා ඇත.

1980 වසරේ පෙබරවාරි මස දහ වෙනිදා පොල්ගස්ඕවිටදී කරුණාසේන ගමගේ සහ මාලි ගමගේ මව්පියන්ට දාව සේනක උපන්නේ දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා ලෙසයි.

කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ද්විතීක අධ්‍යාපනයට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ගිය සේනක එතැනින් කැලණිය සරසවියට පිවිස උසස් අධ්‍යාපනය හදාරා 2014දී රජයේ ආයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් මුල්ම පත්වීම ගත්තේ ඇහැළියගොඩ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටය. පසුව 2018 මාරුවීමක් ගත්තේ ඉංගිරිය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයටයි.

2011 වසරේ චමිලා නිදර්ශනී සිල්වා සමඟ විවාහ දිවියට පත් මේ දෙපළට සිටියේ ෂයිනි සාරා ගමගේ නම් එකොළොස් හැවිරිදි එකම දියණියයි. ඇය හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත්ව දැනට කොළඹ විශාකා විද්‍යාලය ඇතුළත් 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

තම පියාගේ නිසල දේහය දෙස බලමින් එකම දියණිය ෂයිනි මෙලෙස පවසයි.

“අනේ, තාත්තේ අපිවත් එක්කගෙන යන්න. අපිව දාලා යන්න එපා. තාත්තා නැතුව අපිට ඉන්න බෑ. ඔයාමනේ කිව්වේ මාවයි අම්මාව නැතුව ඔයාටත් ඉන්න බෑ කියලා. එහෙනම් ඇයි ඔයා අපි දෙන්නම දාලා දැන් මේ යන්නේ.”

සේනක ගමගේ වෛද්‍යවරයාගේ මව්පියන් තම පුතාගේ දේහය අසල හඬා වැටෙන්නේ දැඩි කම්පනයෙන්.

“මගේ රත්තරන් පුතා හැමෝටම සතුටින් ඉන්න හැටි වෛද්‍යවරයෙක් විදියට හොඳට කියලා දීලා වේලාසනින්ම අපිව දාලා ගියා.”

සදහටම සමු ගත් වෛද්‍ය සේනක ගමගේ මහතාගේ අවසන් කටයුතු ඉංගිරිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලුණුගම්වෙහෙර විනීත හිමි, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කුලපති ඉද්දමල්දෙණියේ ඉන්දරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන්, දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් සමන්තිකා පී. ලියනගේ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පෙරේදා (06) ගුරුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

මේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ලහිරු ලියනගේ මහතා විසින් සිදු කළ අතර, ඉදිරිපත් වූ සාක්ෂි සාධක හා පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ මරණය හදිසි හෘදයාබාධයක් නිසා සිදු වූවක් බව හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහත්මා විසින් තීරණය කරන ලදි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: