hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 29, ප.ව. 1:13



2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.

ඒ අනුව ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයටත්, ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයටත් හිමි වී තිබෙනවා.

වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයටත්, කලා අංශයේ ප්‍රථම ස්ථානය බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයටත් හිමි වුණා.

ගණිත අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් සහන් සමරකෝන් තම ජයග්‍රහණය ගැන ඔහු මෙසේ අදහස් දක්වා සිටියා,

“සතුටුයි මේ ජයග්‍රහණය ලැබීම සම්බන්ධයෙන්. ගොඩක් මහන්සි වුනා මේ අවුරුදු තුන තුළ. ඇත්තටම මේ ජයග්‍රහණය මගේ විතරක් ජයග්‍රහණයක් නෙවෙයි. විද්‍යාලයේ මුලු ගුරු මණ්ඩලයම සියලු දෙනාගේම සහයෝගයෙන් තමයි මේ ජයග්‍රහණය ලැබුවේ. ඇත්තටම ගොඩක් සතුටුයි මේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්. මේ විභාග නොතියන එක මට සෑහෙන්න මානසිකව බලපෑවා. මොකද මම අගෝස්තුවල විභාගය ලියන්න සූදානම් වුණේ. කල්ගිය එකත් එක්ක ඔන්ලයින් කිරීමට එච්චර මම කැමති වුණේ නෑ. ඔන්ලයින් අධ්‍යාපනය එච්චර සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. ඒ කෙසේ නමුත් බාධක මැද්දේ මගේ දෙමව්පියන්ගෙන් විශාල දිරිගැන්වීමක් ලැබුණා. ඒක හින්දා හැමදේම හොඳින් සිද්ධ වුණා.”

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් තමිල්වානන් තුවාකේෂ් මෙසේ අදහස් දක්වා සිටියා,

“මම කියන්න කැමතියි මට හැකියාව ලැබුණා පහවසර ශිෂ්‍යත්ව විභාගයෙනුත් දෙමළ මාධ්‍යයෙන් දිවයිනේ දෙවන ස්ථානයට පත් වන්න. ඒ වගේම එහි දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථානය හිමිකර ගැනීමටත් හැකි වුණා. එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයෙනුත් මට ඒ සාමාර්ථ 9ක් ලබා ගැනීමට පුළුවන් වුණා. මම දන්නවා වර්තමානයේ පවතින්නේ දුෂ්කර කාලච්ඡේදයක්. කොරෝනා සහ ආර්ථික අර්බුදයක් පවතිනවා මේ වන විට. මම දන්නවා මේ අවස්ථාවේ අධ්‍යන කටයුතු කිරීමේ අපහසුතා පවතිනවා. නමුත් ඔබ මේ අවස්ථාවේදී ඔබේ උපරිමයෙන් කැප වුවහොත් ඉදිරියේ දී යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට හැකියි.”

වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ඉෂිනි නේහා මෙසේ අදහස් දක්වා සිටියා,

“කොරෝනා කාලේ මම ගොඩක් ඔන්ලයින් ක්ලාස් තමයි කළේ. ඉස්කෝලෙනුත් ගොඩක් උදව් කළා ඔන්ලයින් ක්ලාස් කරලා. නංගිලා මල්ලිලාට කියන්න කැමතියි මම වගේ මහන්සි වෙලා වැඩ කරලා මේ වගේ තැනකට එන්න පුළුවන්. තමන් කැමති ෆීල්ඩ් එකක් තෝරගෙන එදිනෙදා වැඩ එදිනෙදාම කරලා තමන්ට ගැලපෙන ක්‍රමයක් හොයාගෙන ඉගෙනීම් කටයුතු කරගෙන ගියාම ඔයාලටත් මම වගේ වෙන්න පුළුවන්.”

ජෛව තාක්ෂණවේදය අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ඉසුරි පබසරා මෙසේ අදහස් දක්වා සිටියා,

“ඉස්කෝලේ එදිනෙදා දෙන වැඩ කළා. ක්ලාසුත් ගියා. ඉස්කෝලේ හොඳට ඉගැන්නුවා. ටීචර්ලා ගොඩක් උදව් කළා. මැඩමුත් ගොඩක් අපිට සපෝට් කලා. ටීචර්ස්ලා අපිට උදේ ඉදන්ම අපිට ක්ලාස් කලා. හොඳට ඉගැන්නුවා ඔන්ලයින් වලදී.”

ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් නාරම්මල මයුරපාද විද්‍යාලයේ නෙරන්ද දිල්හාර මෙසේ අදහස් දක්වා සිටියා,

“physical අඩුවෙන් තමයි ගියේ කොරෝනා එකත් එක්ක. online තමයි ගොඩක්ම ඉගෙන ගත්තෙ. 1 – 10 වගේ අතර island rank එකක් තියෙයි කියලා හිතුවා. පලවෙනියා වෙයි කියලා නම් ලොකුවට හිතුවේ නැහැ. කොහොමහරි පළවෙනියා ආපු එකට ගොඩක් සතුටුයි.මම අනාගතයේ දී software engineer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.”

කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් බදුල්ල කැන්දගොල්ල විද්‍යාලයේ ඉෂාර ලක්මාල් මෙසේ අදහස් දක්වා සිටියා,

“මම ගමේ විද්‍යාලයට ආදරෙයි. ශිෂ්‍යත්වයත් සාමාන්‍ය පෙල සමත් වෙලත් මම වෙනත් නගරයේ පාසැලකට යන්න හිතුවේ නැහැ. කොහේ ගියත් ඉගෙන ගන්න තියෙන්නේ එකම සිලබස් එකයි. ඉතින් මම මගේ විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් වගේම අමතර පන්තිවල ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබාගත්තා. දෙනලද විෂය කරුණු හොදින් පාඩම් කලා. නමුත් අපිට කොරෝනා කාලෙදි හරියට අධ්‍යාපන කටයුතු කරන්න බැරි වුණා. අපේ ගම්මානයට හරියට සිග්නල් තිබුණේ නැහැ. ඒ නිසා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය කර ගන්න අමාරු වුණා. එහෙම කියලා නිකම් හිටියේ නැහැ. යාලුවොන්ගෙන් නෝට්ස් ඉල්ලගෙන පාඩම් කලා. ඒ වගෙම් තමයි අම්මටයි තාත්තටයි ස්ථිර රැකියාවක් නැහැ. ගොඩාක් ආර්ථික ප්‍රශ්න අපිට තිබුණා. මගේ එකම අභිලාෂය වුණේ විශ්ව විද්‍යාලයට යන්නයි. එය මහත් ඉහලින්ම කරන්න අද මට පුලුවන් වෙලා තියෙනවා. මේ ජයග්‍රහණය පසුපස ඉන්නා මගේ දෙමව්පියන් වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමාටත්, ආචාර්ය මණ්ඩලයටත්, මගේ යහලුවන්ට වගේම යෙහෙලියන්ට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ පාසල තියෙන්නේ කොහෙද කියලා මුලු ලංකාවම දැනගත්තේ මම නිසා කියන කොට මට දැනෙන ආඩම්බරය කියා නිමකල නොහැකියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: