hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 22, පෙ.ව. 1:38



වසර 15කට පෙර සිය බිරිඳගේ බාලවයස්කාර නැගණිය දූෂණය කර ගැබිණියක් කළ 56 හැවිරිදි පුද්ගලයෙකුට වසර 36ක් බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 15000/=දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 06ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා 16 දා නියෝග කළා.

මෙලෙස සිර දඬුවම්, දඩ හා වන්දි නියම වූයේ කතරගම පදිංචි දෙදෙරු පියෙකු වු හේරත් මුදියන්සේලාගේ වීරසේකර නැමති 56 හැවිරිදි පුද්ගලයකුටයි.

චුදිත පුද්ගලයා 2008.02 01 දින සිට අවස්ථා කිහිපයකදීම කතරගම පිහිටි චුදිතගේ නිවසේ නතරවී සිටි බිරිදගේ බාලවයස්කාර නැගණියව රාත්‍රි නිදාගෙන සිටියදී අවදි කර දූෂණයට ලක් කර තිබෙනවා.

එදින රාත්‍රියේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් බාලවයස්කාරිය වේදනාවෙන් කෑ ගසා නිවසේ නිදා සිටි අක්කාට කතා කර ඇතත් ඇය අවදි වී නොමැති බව සිදුකළ මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පසුවදා උදෑසන බාලවයස්කාරිය තමාට මස්සිනා අතින් සිදු වු කරදරය පිළිබදව අක්කාට පවසා ඇති අතර එහිදී අක්කා පවසා ඇත්තේ මෙම සිදුවීම කිසිවෙකුටත් නොකියන ලෙසත් අයියා ඉල්ලන දෙයක් දී පාඩුවේ අයියා ශේප් එකේ තියා ගන්නා ලෙසත්ය.

ඉන් බාලවයස්කාර දැරිය දැඩි ලෙස අසරණ තත්වයට පත්ව ඇති අතර චුදිත පුද්ගලයාද ඉන් උපරිම ප්‍රයෝජන ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට දැරියගේ මව හා පියා කොළඹ ප්‍රදේශයේ කුළී රැකියා සිදුකිරීම හේතුවෙන් දැරිය ආරක්ෂා සඳහා මෙම චුදිතගේ නිවසේ නවතා තිබෙනවා. (අගතියට පත් දැරියගේ බාල අක්කාගේ නිවසසේ) සිය අක්කාගේ සැමියාගෙන් සිදුවන මෙම කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ තැන බාලවයස්කාරිය සිද්ධිය පිළිබඳව කොළඹ සිටින අම්මාට දුරකතනයෙන් පවසා ඇති අතර ඇය නිවසට පැමිණියද ඇයද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට බිය වී තිබෙනවා.

පසුව මාස කිහිපයකට පසු දැරිය ගැබ්ගෙන ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම දැරියගේ වැඩිමහළු සහෝදරයා හා මව විසින් සිද්ධිය පිළිබඳව කතරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව කතරගම පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව අධිචෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

එහිදී පැවති නඩු විභාගය අතර තුරදී චුදිත වරද පිළිගැනීම හේතුවෙන් චුදිතට පහත පරිදි දඬුවම් නියම කෙරිණි. ඒ අනුව චුදිතට එක් චෝදනාවකට වසර 12 බැගින් චෝදනා තුන සඳහා වසරු 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණා.එමෙන්ම එක් චෝදනාවකට රුපියල් 5000/= බැගින් චෝදනා තුන සදහා රුපියල් 15000/=ක දඩයක්ද නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් මාස 06 බැගින් මාස 18ක බර වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණා.

ඊට අමතරව අගතියට පත් බාලවයස්කාරියට රුපියල් ලක්ෂ 06ක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා චුදිතට නියෝග කළ අතරර චුදිත එය නොගෙවන්නේ නම් තවත් අමතර වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණා. එමෙන්ම චුදිතට ලබා දුන් සිර දඬුවම වෙන් වෙන්ව ගෙවී යා යුතු බවටද නියෝග කෙරුණා. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: