hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 25, පෙ.ව. 10:35



ජීවිතේ අපි ලියන, කියවන ගොඩක් කතන්දර මහා ඛේදාන්ත. එහෙම වුණත්. සමහර වෙලාවට අපි දකිනවා, ඒ විදිහේ ඛේදාන්ත අවසානයේ ජීවිත වලින් වන්දි ගෙවන මිනිස්සු.

එහෙව් මිනිස්සු ගැන නොදන්න ගොඩක් අය, කමෙන්ට් වලින් හරි, වෙන යම් හෝ ක්‍රමයකින් තව කෙනෙක්ව හෑල්ලූ කරනවා, රිද්දනවා.

මේ කතාව මොහොතකට ඔබත් කියවලා බලන්න..

අද උදේ ඉඳල බුකියෙ තියන පොස්ට් ටික දැක්කම මට කාලෙකට කලින් වෙච්ච එක සිද්ධියක් මතක් උනා.

මේ කියන පිරිමි ළමයා දැනටත් මගෙ ෆේස් බුක් එකේ ඉන්න තරුණයෙක්.

එයාගෙ කථාව එයා කියපු විදිහටම කියන්නම්,

මට ඉන්නේ අම්මයි නංගියි .අම්මා නර්ස් කෙනෙක් ,ඒ වෙනකොට නංගි උසස් පෙළ කරලා ප්‍රථිපල එනකන් ගෙදර හිටියේ.

එක දවසක් හවසක යාලුවෙක්ගෙ ගෙදර යනවා කියල ගිය නංගි ගෙදර ආවෙ අඬාගෙන.

කොච්චර ඇහුවත් එයා අඬන්න හේතුව මොකද්ද කියල කිව්වේ නැහැ.

එයා නොකිව්වට ඊට පැය දෙක තුනකට පස්සෙ නංගිගෙ ඇඬිල්ලට හේතුව මගෙ යාලුවෙක් මට කෝල් කරලා කිව්වා.

“මචන් උඹේ නංගි කොල්ලෙක් එක්ක වැවක නාපු සීන් එකක් ලීක් වෙලා ,සීන් එක වයිරල් යනවා බන් .”

අලුත්ම ලීක් එක කියල දාල හෙඩින් එකේ තිබ්බට ඒ එවපු ලින්ක් එක එබුවම ඒ වීඩියෝ එකේ මම හිතපු තරම් දරුණු දෙයක් තිබ්බේ නැහැ, නංගි කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉඳල අපිට හොරෙන් දෙන්නා නාන ගමන් කිස් කරන එකක් තමයි තිබ්බේ.

හැබැයි ඒකට මිනිස්සු ලියල තිබ්බ කමෙන්ට් කියෙව්වම නම් නංගිට විතරක් නෙමේ මටත් වැලලෙන්න හිතුනා. පිරිමි වගේම ගෑණුත් හිතට එන හැම ලෝකෙ ජරා වචනක්ම දාලා තමන්ට පුළුවන් හොඳම විදිහට නංගිට බැනල තිබ්බා.

ඒක දවසක් ඇතුලත මුළු ගමේම ප්‍රචාරය උනා ,අම්මා වැඩ කරපු ඉස්පිරිතාලේ පවා.

ඒ සිද්ධිය ,ඒ කාලේ අවුරුදු විසි එකක් වෙච්ච මට දරාගන්න බැරි උනා ,මන් මැහි තෙල් බෝතලේම බිව්වා .මාස දෙකක් ඉස්පිරිතාලේ ඉන්න උනා.

නංගිට වෙච්ච ලැජ්ජාවට වඩා මන් වහ බිව්වා කිව්වම අම්මට දරාගන්න බැරි උනා කියල ලොකු අම්මා පස්සේ මට කිව්වා.

මේ ඔක්කොම වෙන්න ගියෙ හරියටම දවස් පහයි.

නංගිට හැමදේම එපා වෙලා අසපුවක නැවතුනා.

මන් අවුරුදු හතරකට පස්සේ කොරියාවෙ ආවා

එතකොට අම්මා ,???

එයාට තාම හොඳ සිහියක් නැහැ , අංගොඩ නවත්තල ඉන්නේ
තාත්තත් නැතුව දහ දුක් විඳලා අපි දෙන්නව හදපු අම්මට නංගිට උන දේ වගේම නංගි නිසා මන් කරගත්ත දේත් දරාගන්න බැරි උනා .

ඒකෙ එක කමෙන්ට් එකක් තිබ්බලු දුව මෙහෙමනම් අම්ම කොහොමද කියල ,අම්මා ඒක කිය කිය අඬුව කියල නෑදෑයෝ තාම කියනවා ..

එතකොට අර වීඩියෝ එක දාපු පිරිමි ළමයට මොකෝ උනෙ ?

මුල් කාලෙ මාත් ඌව හෙව්වා මර,නව කියල හිත හිත .
හැබැයි පස්සේ බලද්දී වෙන යාලුවෙක් තමා ඒක දාලා තිබ්බේ .
අපි හැමෝටම වඩා අද එයා දුක් වෙනවා වෙච්ච දේ ගැන .
දැන් උනත් හැම මාසෙම අම්මව බලන්න යන්නේ එයා තමයි .

මට කියන්න ඕනෙ මෙච්චරයි ,එදා ඒකට කමෙන්ට් කරපු හිනා වුන කිසි කෙනෙක්ට අද මේ වෙනකොට ඒ සිද්ධියවත් තමන් ලියපු වචනවත් මතක නැතුව ඇති .
ඒ වචන වලින් අපේ මුළු පවුලම විනාශ වෙලා නැත්තටම නැති වෙලා ගියා කියල ඒ කිසි කෙනෙක් දන්නේවත් නැතුව ඇති . නංගි කොල්ලෙක් එක්ක නාපු ඒ සිද්ධියට වඩා අපිව රිද්දෙව්වේ මිනිස්සුන්ගේ වචන .
දැන් නම් ඇයි එහෙම උනේ කියල හිතුනට ඒ වෙනකොට අපි තුන් දෙනාටම එහෙම හයියක් තිබ්බේ නැහැ .

වචන කියන්නෙ වෙඩිලි වලටත් වඩා භයානක දෙයක් .
ඒ ළමයා අන්තිමටත් මට කිව්වේ එහෙම

අද මම ඒ පිරිමි ළමයටත් කියල මේ කථාව ලිව්වේ , සම්මාන උළෙලක්‌ නිසා මිනිස්සු පරක් තෙරක් නැතුව රූපෙන් විතරක් දන්න මිනිස්සුන්ට මඩ ගහන විදිහ දැකල .

සමහරවිට ඔයා නොහිතා ටයිප් කරන කමෙන්ට් කරන ඔය වචන නිසා කෙනෙක්ට මාරාන්තික තුවාල වෙන්න පුළුවන් .
ඒ තුවාල මැරෙනකම්ම සුව නොවෙන්නත් පුළුවන් .

තවත් සමහර විට අනාගතේ දවසක ඔයාම අනේ පව් කියල කියන මරණයක අභ්‍යන්තර කතාවකටමීට කාලෙකට කලින් ඔයා කියපු ඔයා ලියපු වචනයක් හේතුකව කොටසක් වෙලා තියෙන්නත් පුළුවන් .

අපෝ අපිට වෙන දේවල් වල හැටියට ඕවා මොනවද කියල ඔයාට හිතුනට හැමෝගෙම දරාගැනීමේ පරිමාව ඔය තරම් නොවෙන්න පුළුවන් .

ටයිප් කලාට දඩ නොගැහුව පලියට කිසිම කෙනෙකුට වචන වලින් දමල ගහන්න එපා .

ඔයාට ඒ මොහොතට ඒක ආතල් එකක් ගෙනාවට ඒ අදාළ කෙනාට මුළු රෑම නින්ද නොයන්න තරම් වේදනාවක් ඒ වචනෙ අස්සේ තියෙන්න පුළුවන් .

හුඟක් මිනිස්සු ආත්මයෙන් මිය ගියෙ වෙඩි වැදිලා නෙමෙයි ,වචන වලට රිදිලා .

නිකමට හිතල බලන්න මේ වෙනකොට ඔයා වචන වලින් නොදන්න කී දෙනෙකුට මරණීය තුවාල ඇති කරලා තියනවද කියල ..අද අමතක උනත් දවසක ඔයාගෙ හිතම ඔයාට ඔය හැමදේම මතක් කරලා දෙනවා ලෙසටම ,අන්න එදාට ඔයාට දඬුවම් දෙන්න උසාවි ඕනෙ නැහැ .ඔයාගෙ හදවතම ඒ ඩියුටි එක බාරගන්නවා .ඒ නිසා ප්‍රවේසමෙන් .

වචන මාරාන්තිකයි ,
වචන වලින් මිනිස්සුන්ව මරන්න හිතන්න වත් එපා .
හිරේ නොගියට ඕවා කොයි විදිහට හරි ගෙවන්න වෙන පව්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: