hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 12, ප.ව. 6:31



උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට පේරාදෙණිය රෝහලට පැමිණි 21 හැවිරිදි තරුණියකට, එන්නත් දෙකක් ලබා දීමෙන් පසු මියගිය බවට ඇයගේ මව චෝදනා කරනවා.

ඇය පවසන්නේ එන්නත් දෙක ලබා දීමෙන් පසුව තම දියණිය නිල් පැහැයට ලක් වූ බවයි.

පළමු එන්නත ලබා දීමෙන් පසුව සිය අතට වේදනාවක් දැනුණු බවට දියණිය ප්‍රකාශ කිරීමෙන් පසුව රෝහලේ හෙදියක විසින් තවත් එන්නතක් ලබා දී තිබෙනවා.

ඒ අනුව දෙවන එන්නත ලබාදීමෙන් පසුව සිය ඇස්වලින් වේදනාවක් පිටවන බවට දුව ප්‍රකාශ කළ බවත් අනතුරුව ඇය සේලයින් බෝතලය ද එල්ලගෙන වැසිකිළියට දිව ගිය බවයි ඇයගේ සහයට රෝහලේ සිටි මව පවසන්නේ.

අනතුරුව වැසිකිළියේ ඇති මුහුණ සේදීමට ඇති ස්ථානයේ හිස තබාගෙන සිටියදී දියණියගේ මුඛයෙන් සෙම පිටවූ බවයි මියගිය තරුණියගේ මව වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මවගේ කෑගැසීමත් සමග එම ස්ථානයට පැමිණි රෝහල් කාර්යමණ්ඩලය අදාළ තරුණිය රෝහලේ ඇඳකට යොමු කර පපුව තද කරමින් ප්‍රතිකාර කර ඇති නමුත් ඇය බේරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

“මගේ ළමයට බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේට ගෙනාවේ. කොටලිගොඩ එකට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ එහෙන් 10 වෙනිදා පේරාදෙණියට ගෙනාවේ. ඊට පස්සේ මගේ අම්මා ICU ඉඳලා දැම්මා උඩ 17 වාට්ටුවට. 3.30ට විතර මගේ දුවට කැනියුලා එකක් ගහලා සේලයින් එකක් දුන්නා. ඊට පස්සේ බෙහෙත් දෙකක් විද්දා. බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක්ක මොකද්දෝ වෙලා මගේ මැණික කිව්වා මොකද්දෝ වෙන්න එනවා කියලා. ඒ කරලා මගේ දුව එහෙමම ගියා බාත්රූම් එකට. ළමයා සින්ක් එකේ ඔළුව තියාගත්තා. ඔක්කෝම නිල් වෙලා, අතපය නිල් වෙලා මගේ ළමයා කඩාගෙන වැටුණා. මම කෑ ගහද්දි මිසීලා ඇවිත් මගේ ළමයව වාට්ටුවට අරන් එනකොට මම ඇහුවා මොනවද මගේ ළමයට විද්දේ කියලා? මට අද මගේ කෙල්ල නෑ. මට එක කෙල්ලයි ඉන්නේ. මගේ ළමයට වෙන ලෙඩක් තිබුණේ නෑ.”

චමෝදි සංදීපනී නමැති ඇය, ප්‍රදේශයේ රෝහලකට පසුගිය 10 වනදා ඇතුළත් වීමෙන් අනතුරුව ඊට පසුදින එනම් 11වන දින පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබුණේ ගිලන් රථයකින්.

මෙලෙස මියගිය තරුණිය මැණික්දිවෙල – පොත්තපිටියේ පදිංචිකාරිණියක්.

තරුණියගේ මව චෝදනා කරන්නේ එන්නත් හේතුවෙන් තම දියණිය මිය ගිය බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: