hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අප්‍රේල් 23, පෙ.ව. 3:02



මෙරට කලා ක්ෂේත්‍රයේ දැවැන්ත කලා ශිල්පියෙක් වෙන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කවුරුත් දන්නා පරිදි මේ වන විටත් පසුවන්නේ රෝගාතුරවයි.

ඒ මීට මාස නවයකට පමණ පෙර වුණු හදිසි අනතුරක් හේතුවෙන්.

පසුගිය සමයේ සමාජ ජාලාවල ඔහු සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රකාශ සංසරණය වුණා.

විශේෂයෙන් රෝහල් ආරංචි මාර්ගවලින් යැයි අසත්‍ය තොරතුරු සංසරණය වුනා.

අනතුරත් සමඟ ඔහුගේ ජීවිතය පවත්වාගෙන යාමේ වගකීම වෛද්‍ය තාක්ෂණ උපකරණ මත රැඳුණා.

සමාජ මාධ්‍ය තුළත් පසුගිය කාලයේ මෙම තාක්ෂණික උපකරණ සංවාදය දිගටම පැවැත්වුණු අතර, මෙය යුක්ති සහගත නොවන බවට පිරිසක් තර්ක කරන්නට වුණා.

ඒ අනුව ජැක්සන් ඇන්තනී නැවතත් පෙර තත්ත්වයට පත්වීමේ හැකියාව වෛද්‍ය විද්‍යාත්මකව ඉතා අඩු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළා.

එසේම ජැක්සන්ගේ ප්‍රතිකාර ක්‍රමය මිත්‍යා විශ්වාස මත තල්ලු වෙමින් ඉදිරියට යන බවත් ඔහු සඳහන් කර තිබුණා.

මේ සම්බන්ධව ජැක්සන්ගේ දෙවැනි ශල්‍යකර්මය අතරතුර සිදුවූ වරදක් හේතුවෙන් ඔහු බරපතළ ලෙස රෝගී වූ බවට ද කතා පැතිර යමින් තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ද පැහැදිළි කිරීමක් කළා.

ජැක්සන්ගේ ජීවිතය යම් මට්ටමින් හෝ පවතින්නේ ජාතික රෝහලේ යන්ත්‍ර ආධාරයෙන් බවත් රෝගියෙක් සම්බන්ධයෙන් වන ඇතැම් කාරණා වෛද්‍ය ආචාර ධර්ම මත මාධ්‍ය හමුවේ පැහැදිළි කළ නොහැකි බවත් ඔහු කියා සිටියා.

ජාතික රෝහලේ දී සිදු කරන ලද දෙවැනි සැත්කමක් අතරතුර වෛද්‍යවරුන් අතින් යමක් සිදුවූ බවට තොරතුක් ලැබී නැති බවත් නමුත් එවැන්නක් සිදුවී ඇත්නම් එය අපරාධයක් බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට පැමිණිල්ලක් ගොනු කළ නොහැකි බව ද ඔහු කියා සිටිනවා.

මෙවන් මේ ආකාරයේ බරපතළ තත්ත්වයේ රෝගියෙකු කළමනාකරණය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින් බවත් පැවසූ ඔහු එම වෛද්‍යවරුන් සහ පවුලේ සාමාජීකයින් අතර සිදුවන සාකච්ඡාවලින් පසු රෝගියා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවන බවද පැහැදිළි කළා.

කෙසේ වෙතත්, ඇන්තනී පවුල මෙම විශිෂ්ට රංගධයා පිළිබඳ බලාපොරොත්තු අත්හැර නැහැ.

සමාජ මාධ්‍ය තුළ තවදුරටත් බොහෝ දේ පළවෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, මිනිසෙකුගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට යාම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්.

එසේ හෙයින් මෙම සියලු මත ඔබ හමුවේ තබා අපි නිහඬ වී බලා සිටිමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: