hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 25, පෙ.ව. 12:02



ඇය අතිශයින්ම රූමත්ය. එක්වරක් බැලූ කෙනෙකුට දෙවරක් නොව තුන් හතර වතාවක් ඇගේ රුව දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමට සිතෙන තරමටම ඇය රූමත්ය. 

ඇගේ රූමත්කමෙන් ගත හැකි උපරීම ප්‍රයෝජනය ගැනීමට ඇය කටයුතු කරන්නේ දෙවරක් නොසිතමිනි. ඒ චිත්‍රපටවල රඟපෑමට වරම් ලබා ගනිමිනි. චිත්‍රපටි වුවද ඒවා එසේ මෙසේ චිත්‍රපටි නොව ‘වැඩිහිටියන්ට පමණයි‘ ලේබලය යටතේ ප්‍රදර්ශනය වන නිල් චිත්‍රපටය. ඇය ඒවායේ රඟපෑවේ සරාගී ප්‍රධාන චරිතය. රූ සපුව කදිමට ප්‍රදර්ශනය කරමින් මෙම චිත්‍රපටවල රඟපෑම නිසා ඇය ඉතා ඉහළ ජනාදරයකට පත් වූයේ වැඩි කාලයක් ගතවීමට පෙරය.

පසුගිය කාලයේ ප්‍රදර්ශනය වූ චිත්‍රපටි සහ රූපවාහිනී ටෙලි නාට්‍ය ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ මෙම සරාගී නිළිය ඇසිපිය හෙළන ඇසිල්ලෙන් ඉතා ජනාදරයට පත්වෙද්දී සමාජයේ ඉහළ ධන කුවේරයන්වද ඇය වටා එකතු කරගැනීමට ඇය කටයුතු කළේ සූක්ෂමය. කොකේන්, හෑෂ්, අයිස් වැනි මිල අධික මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම නිළිය ධනවතුන්ගේ මනදොළ සපුරමින් නැළවන අතර හිතට ආ අදහසක් අනුව ජංගම ගණිකා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද කටයුතු කළාය.

“මොකක්ද නංගී නිළියක් වුණාම ටිකක් පොෂ් එකට ඉන්න එපැයි. ගණන් තමයි. ඒ වුණාට හොඳට අඳින්න පළඳින්න වෙනවා. කාලා බීලා ෆන් එකේ ඉන්නනං ඒවට වැඩියෙන් වියදම් කරන්නත් වෙනවා…“

“අක්කා කොහොමද ඒවා කරගන්නේ…?“

“අපෝ ඒවා හැමෝටම කියන්න බෑ. මට විශ්වාසයෙන් ඉන්න… මගෙ හිතට අල්ලපු කෙනෙකුට විතරයි මං ඒව කියල දෙන්නෙ. කැමතිනම් ඔයාටත් පුළුවන් මාත් එක්ක එකතු වෙන්න…“කතාවෙන් හිනාවෙන් කාගේත් හිත් වසඟ කරගත් සුරූපිනිය තවත් එවැනිම රූමතියන් ගණනාවකගේම ආදායම් මාර්ගය සරු කර දීමට නිර්ලෝභීවම කටයුතු කළාය. එහෙත් එය ඉතා හොර රහසේ සිදු වූවක් පමණක් නොව සියලුම කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීමටද ඇය කටයුතු කළාය.

“සර්… මාර ඩීල් එකක් යනවනෙ…!“වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට රහසිගත ඔත්තුකරුවකු විසින් තොරතුරක් ලබා දෙන්නේ ඒ අයුරිනි.

“ඩීල් එකක්… ඒ මොකක්ද…?“

“අර කාම චිත්‍රපටිවල රඟපාන ප්‍රධාන නිළිය ඉන්නෙ…“

“ආ අර… කියන නිළියද…?“

“ඔව් ඔව්… අන්න හරි. එයා තමයි…“

“ඉතින් මොකක්ද ඔය ඩීල් එක…“

“හොඳ ලොකු සල්ලිකාරයන්ට ලස්සන ගෑනු කට්ටිය ඩීල් කරනවා. ඒක ජංගම ගණිකා සේවයක්ලු සර්…“මේ බව දැනගත් මොහොතේම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිටගේ උපදෙස් මත ස්ථානාධිපතිවරයා කටයුතු කළේ වැටලීම සිදු කිරීමටය. අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට, ස්ථානාධිපතිවරයා සමඟ එකතුව මේ සඳහා සැලසුමක් සකස් කළේ ඔවුන් කොටු කරගැනීම ඉතාමත් සූක්ෂම ලෙස කළ යුතු බැවිනි. මේ සඳහා උපාය දූතයෙකු යෙදවීම සුදුසු බව කාගේත් මතය වූ අතර ඒ සඳහා දක්ෂ නිලධාරියෙකු තෝරා ගැනීමටද කටයුතු කළේය. උපාය දූතයා සිය රාජකාරිය ආරම්භ කළේ ඒ අනුවය. සුරූපී නිළියට ඇමතුමක් ගෙන මේ පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට උපාය දූතයා උත්සාහ කළේය.

“කවුද මේ කතා කරන්නේ…?“

“මිස් මං රත්නපුර පැත්තේ මැණික් බිස්නස්මන් කෙනෙක්…“

“එහෙම කෙනෙක් මං දන්නෑ. මේ රෝං නම්බරයක්…“ ඇය එකවරම දුරකතනය විසන්ධි කළේ නුරුස්සනා ස්වභාවයකිනි. ඇය ලෙහෙසි පහසු කාන්තාවක් නොවන බව අවබෝධ කරගත් උපාය දූතයා තම ඉලක්කය සපුරා ගැනීමට කෙසේ හෝ කටයුතු කළේ කීප අවස්ථාවක්ම ඇයට දුරකතනයෙන් කතා කරමිනි.

වරින් වර ඇමතුම් ගනිමින් කෙසේ හෝ ඇය කතාවට අල්ලා ගැනීමට උපාය දූතයා සමත් වූයේ මෙම කාර්යයේ පළමු පියවර ඉදිරියට තබමිනි.

“කවුද ඔයාට මේ නම්බර් එක දුන්නේ…“

“මිස් අර ජනප්‍රිය නිළිය. එයා මගේ යාළුවෙක්. මිස්ව කන්ටෑක් කරලා දුන්නේ එයයි මට…“ උපාය දූතයා ගොතා ගත් බොරු වැල හිමිහිට ලිහා දැමීමට පටන් ගත්තේ ඇයව නූලට අන්දවමිනි. ඇය මෙල්ල වූයේ උපාය දූතයා ගැන තරමක හෝ විශ්වාසයක් ඇති වූවාට පසුවය.

“එහෙනම් ඕගොල්ලන්ට අපිවත් ඕන වුණා…“ උපාය දූතයාට හැඟී ගියේ ඇගේ හිනාව දුරකතනයේද හැපී ඉහිරෙන බවය.

“නැතුව නැතුව. සල්ලිම හම්බ කරලා වැඩක් නෑ. ජීවිතේ විඳින් නැතුව…“

“අන්න එහෙම එන්න කෝ අයියා. මං උදවු කරන්නම්. හැබැයි ගාණ සැරයි…“

“කීයක් ගියත් මොකද අනේ. ඕන කරන දේ ලැබෙනවා නම්…“

“මගේ වට්ස්ඇප් පැකේජ් එකේ ඕන ඕන විදිහේ බඩු තියෙනවා. කැමති එකක් තෝරගන්න පුළුවන්…“

“මං විතරක් නෙමෙයි. යාළුවො සෙට් එකකුත් ඉන්නවා. ඒ හින්දා හතක් විතර ඕන වෙනවා…“

“මොනවද එතකොට ගන්න ඩ්‍රග්ස්…“

“ඩාන්සින් ටැබ්ලට් ටිකකුයි අයිස් ටිකකුයි හොඳයි කියලා හිතනවා…“

“හරි හරි කවදටද…“

“හෙට වුණත් කමක් නෑ…“

“එන්න පුළුවන් කොහාටද…“

“හොරණ පැත්තට වුණොත් ලේසියි අපිට…“

“එහෙමනම් කෝරළේඉම තියෙනවා අපේ සුපිරි පොට් එකක්. එතනට ගෙනත් දෙන්නම්. පැයකට රුපියල් තිස්පන්දාහයි. ඩ්‍රග්ස් පාවිච්චි කරන විදිහත් එක්ක ගණන් වැඩි වෙනවා තව…“ උපාය දූත නිලධාරියා දින කීපයක් තිස්සේ කරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබුණේ ඒ ආකාරයටය. ඊළඟට ඇත්තේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ යුත්තේ පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීවය. ඒ සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පිටත්කර හැරීමට අධ්‍යක්ෂවරයාගේ නියෝග පරිදි ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

ඒ අතරම සුඛෝපභෝගී වාහනයකට නැඟුණ මැණික් ව්‍යාපාරිකයා ගෝනපළ ප්‍රදේශයේ කෝරලඉම දෙමටහැත්ත ප්‍රදේශයේ පාලම අසලට වී කල් මරමින් බලා සිටියේ ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. පොරොන්දු වූ ලෙසම ඇය පැමිණියාය. කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් උපාය දූතයා හමුවට පැමිණි ඇය වාහනයේ ඉදිරිපස අසුනේ සිට පිටුපස අසුනේ සිටි සුරූපිනියන් සිවුදෙනකු පෙන්වා උපාය දූතයාට පැවසුවේ කැමති කෙනෙකු තෝරා ගන්නා ලෙසයි.

සියල්ල නිවැරදිවම සිදුවන බව වටහාගත් උපාය දූතයා රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන්ට තම සංඥාව නිකුත් කළේ සියල්ල තිතටම සිදුවිය යුතු බැවිනි. සරාගී සුරූපී නිළිය ඇතුළු රූමත් ගණිකාවන් සිවුදෙනෙකුට විලංගු වැටුණේ ඒ අයුරිනි. මොවුන් ගම්පහ, බියගම, අම්පාර, බොරලැස්ගමුව, මාතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 25ත් 45ත් අතර වයස්වල පසු වන කාන්තාවන්ය. ඔවුන්ගේ ගමන් මලුවල උපත් පාලන කොපු ද තිබී සොයා ගැනීමට හැකි වී තිබිණි.

මෙහි ප්‍රධානියා වන ලංකාවේ සරාගී චිත්‍රපට ගණනාවක සහ ටෙලි නාට්‍ය ගණනාවක සරාගී ප්‍රධාන චරිතය රඟපා ඇති ඇය රිදී තිරයේ පමණක් නොව සැබෑ ජීවිතයේද කාම දේනුවකි. ඇගේ අතිශය ජනප්‍රියත්වය නිසාම ධන කුවේරයින් සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන රූමත් ජනප්‍රිය නිළියන් මෙන්ම පෞද්ගලික ආයතනවල රූමත් කාන්තාවන් මෙම පුද්ගලයන්ට ලබා දෙන්නේ රුපියල් තිස්පන් දාහේ සිට ලක්ෂය දක්වා වන විවිධ මිල ගණන්වලටය.

රූමත් නිළියක් නම් පැයකට රුපියල් 45 දාහක් වැනි මිලකට මෙම ධන කුවේරයන් අතේ නැළවෙන්නේ ඔවුන්ගේ මනදොළද සපුරාලමිනි. මෙම කාන්තාවන් එම පුද්ගලයාට අවශ්‍ය ආකාරයට මිල අධික මත්පැන් මෙන්ම මත්ද්‍රව්‍යවලින්ද මත් වෙමින් ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන බව මෙහිදී අනාවරණය වී තිබේ.

තවදුරටත් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොවුන් මෙවැනි දේට යොමුවී තිබෙන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයම ඉලක්ක කර ගෙන නොව ඔවුන්ගේ සමාජ තත්ත්වය රැක ගැනීම සඳහා බවය.

මෙම ප්‍රධාන සරාගී නිළිය අන්තර්ජාල යෙදවුම් හරහා මෙම කටයුතු සියල්ලම සිදු කරන අතර කිසි විටෙක ඔවුන්ගේ පෞද්ගලික වාහනවල මේ සඳහා ගමන් නොකිරීමට ද වග බලාගෙන ඇත්තේ එම වාහන අත්අඩංගුවට පත්වන නිසාය.

ඇය මෙලෙස කාන්තාවන් සැපයීමට යොදාගන්නේ ඉල්ලුම්කරුට පැමිණීමට පහසු ප්‍රදේශයක් වන අතර ඒ සියලුම කටයුතු සිදු කරන්නේ අන්තර්ජාල පහසුකම් හරහාය.

එදින ඇය කාන්තාවන් රැගෙන පැමිණියේද කුලී පදනම මත ලබාගත් වාහනයක වීමද විශේෂය.

තරු පහේ හෝටල්, සුපිරි නිවාස සංකීර්ණ මෙන්ම රාත්‍රී සමාජ ශාලාවල පැවැත්වෙන සාද සඳහා මෙම ගණිකාවන් ඇය විසින් ලබා දෙන අතර ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් නිරුවත්ව නර්තනයේ යෙදී පිරිමින්ගේ හැඟීම් අවුස්සමින් ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම ගණිකාවන් විසින් එම පූද්ගලයින්ව මත්ද්‍රව්‍ය පානය කිරීම සදහා සූක්ෂ්මව පොලඹවා ගෙන ඔවුන් සතුව ඇති මුදල් හූරා ගැනීමද සිදු කරන්නේ මෙම ධනවතුන් හිඟන්නන් බවට පත් කරමිනි.

මෙලෙස උපයන මුදලින් වැඩි කොටසක් ඇය විසින් එම කාන්තාවන්ට ලබා දෙන්නේ ඔවුන්ද මෙම ගණිකා සේවයේ යළි යෙදවීමට උත්තේජනයක් ලබා දීමට විය යුතුය. විවිධ වයස් සීමාවල විවාහක මෙන්ම අවිවාහක තරුණියන්ද ඇය සමඟ මෙම හැඟුම් ගනුදෙනුවට දායක වී සිටින්නේ කාලයක සිටය. මෙම කාන්තාවන්ගේ ඇති විශේෂත්වය වන්නේ ඔවුන්ගේ සේවය ලබා ගන්නා පුද්ගලයාට පාවිච්චි කිරීමට අවශ්‍ය මත්ද්‍රව්‍ය වර්ගය කුමක්ද මොවුන්ද ඔහු සමඟ ඒවා පාවිච්චිකර ඔහුගේ මනදොළ සපුරාලීමට ඔහුට සිතැඟි සේ කටයුතු කිරීමයි.

මෙම ප්‍රධාන කාම දේනුව විසින් අන්තර්ජාලය හරහා ඇණවුම් කරන ලද මත්ද්‍රව්‍ය රහසිගත මාර්ගවලින් ඇයට ලැබෙන අතර ඇය ඒවායේ හිලව්වට ගණිකාවන් සැපයීමද විශේෂිතය.

ඇය විසින් මුදල් වියදම් කර තරුපහේ හෝටල් කාමරවල, රාත්‍රී සමාජ ශාලාවල මෙන්ම සුපිරි නිවාස සංකීර්ණවල මත්පැන් සාද පවත්වා ඒවාට ධනවතුන් ගෙන්වා ගෙන ඔවුන් ඉදිරියේ මිල අධික මත්පැන් වර්ග මෙන්ම අයිස් වැනි මත්ද්‍රව්‍ය පානය කරමින් මෙම පුද්ගලයින් ‘දැපනෙ‘ දමා ගන්නා කාමිනියන් කම්සැප වළඳන්නේ එම පුද්ගලයන්ව සූක්ෂම ලෙස මොවුන්ගේ මායම් දැලට හසුකර ගන්නා අතරය.

මෙම ප්‍රධාන කාම රැජිණ සංවිධානාත්මක කාන්තා කල්ලියක් සමඟ එකතු වී සිදු කරනු ලබන සමාජ විරෝධී ක්‍රියාවන් රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතින්නේ ඇය තුළින් සමාජයට පෙන්වන දෙවඟනට මුවාවී සිටිමින් දහසක් සෙල්ලම් පෙන්වන යක්ෂණිය ගැනද පෙන්වා දෙමිණි.

මෙම කල්ලියේ සිටි එක් කාන්තාවක් ධනකුවේරයෙකු රවටා ලක්ෂ ගණනක මුදලක් වංචා කර ඇති අතර ඇය තැනින් තැන පදිංචිය වෙනස් කරමින් හැංගිමුත්තන් සෙල්ලමේ නිරත වී ඇත්තේ එය තමන්ගේ ගැලවීමට මගක් වෙතැයි සිතා විය යුතුය. ජාඇළ ප්‍රදේශයේ අවසන් වරට සිට ඇති ඇය වාහන වංචාවක් සිදුකර ඇති බවද තමාගේ නමින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

සුවඳ පෙරාගෙන මිල අධික සළුපිළිවලින් හැඩවැඩ වෙමින් සමාජයේ ඉතා වැදගත් අය ලෙස වැජඹෙන මෙවැනි කාන්තාවන්ගේ ගඳ ගසන පැටිකිරිය සමාජය ඉදිරියේ දිග හැරී ගියේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ගේ දක්ෂතාවය හේතුවෙනි.

කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්මව පවත්වාගෙන ගිය මෙම ජංගම ගණිකා ව්‍යාපාරයට නොසිතූ අයුරින් කණකොකා හැඬුවේ සුරංගනාවියන් පස්දෙනෙකු තරු පහේ හෝටල් කාමරයේ සිට දුගඳින් පිරි අඳුරු සිර කුටියක් වෙතට ඇද දමමිනි.

මොවුන් හොරණ පොලිසියට භාර දීමෙන් පසුව හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

උපුටා ගැනීම – සිළුමිණ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: