hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:15



කාසල් වීදියේ කාන්තා රෝහලින් වාර්තා වීමත් සමඟ නළ දරු උපත් සමඟ සබැඳි බොහෝ පැතිකඩ එළියට ආවා..

නළ දරු උපත සතුටක් ගෙන දෙන කරුණක් වුණත්, මේ කියන්න යන කාරණයත් එක්ක නම් මේ වගේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න මව්පියන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන… 

වේයන්ගොඩ, පත්තලගෙදර පදිංචිව සිටින මේ තරුණ යුවළ සිය දරු සම්පතක් ලබන්නේ විවාහ වී වසර 12ක් ගිය තැනය. දරු සම්පතක් ලබා ගැනීමේ අපේක්ෂා දල්වා සිටි ඔවුන්ට එම හීනය ඈත් වුණා.. සියලු ප්‍රතිකාර, වත්පිළිවෙත් හමාරයේ ඔවුන් තීරණය කළේ කෘත්‍රිමව සංසේචනය කරන ලද කලල මවගේ ගැබෙහි තැන්පත් කිරීමටය. ඒ සඳහා ඔවුහු සුදුසුකම් සහිත වෛද්‍යවරයකුගේ පිහිට පැතුවා..

දරුවකු හෝ දෙදෙනකු පැතූ මෙම යුවළට දරුවන් සය දෙනකුම පිළිසිඳ ඇති බව ඔවුන් දැනගත්තේ ටික දිනක් ගත වූ පසුවය. වැලේ ගෙඩි වැලට බර නැතිවා සේ ඔවුහු මේ දරුවන් ඇති දැඩි කර ගන්නට අදිටන් කරගන්නට ඇති…

පසුගියදා සුළු සැත්කමක් සඳහා කාසල් වීදිය කාන්තා රෝහලට ඇතුළත් වූ මෙම මවට දරුවන් ප්‍රසූත කිරීමේ ලක්ෂණ පහළ වූයෙන් හදිසියේ අදාළ සැත්කම සිදු කිරීමට සිදුවුණා… ඔවුන් බලාපොරොත්තුව සිටි දරුවන් පස්දෙනා වෙනුවට සය දෙනකුම ලැබී ඇති බව දෙමාල්ලන් දැනගන්නේ එයින් අනතුරුවයි…

මේ සටහන තබන මොහොත වනවිට එම දරුවන් හය දෙනාගෙන් එක් අයෙක් අප අතර නැහැ… මෙම දරුවන් බිහි වන විට ඔවුන්ගේ බර ග්‍රෑම් 600ත් 700ත් අතර වුණා… එය ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව වෛද්‍ය මතය විය. මේ නිසා මෙම දරුවන් පස්දෙනාම කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වීදුරු කුටි තුළ ශ්වසනාධාරක සමඟ ජීවත් වෙනවා…. ඔවුන්ගේ ජීවිත පිළිබඳව දැඩි වෙහෙසකාරී කැපවීමකින් වෛද්‍යවරුද, හෙද හෙදියෝ ඇතුළු කාර්ය මණ්ඩලද දැඩි මානසික පීඩනයකින් යුතුව කටයුතු කරනවා..

මෙම දරුවන් අඩු බර දරුවන් බැවින් ඔවුන් ජීවත් කර ගැනීම ඉතා අසීරු තත්ත්වයක් බව පවසන ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර පවසන්නේ මේ සය දරු උපත තවමත් සැමරිය යුතු තැනක නැති බවයි…. එය සැමරිය යුත්තේ දරුවන් සුවසේ නිවෙසට යන දවසේ බව ඔහු පවසනවා…

මේ අනුව බලන කල පත්තලගෙදර මව ලද මේ දරු සම්පත තනිකර ස්වාභාවිකව සිදුවූවක් නොවේ… වෛද්‍ය විද්‍යා තාක්ෂණයේ මහිමයන් භාවිතයෙන් වෛද්‍ය මැදිහත් වීමෙන් සිදුවූවකි. එවැනි පසුබිමක් තුළ නිර්මාණය වන අර්බුද අද අලුත් තලයක පිහිටුවා කතා කරන්නට සිදුව තිබෙනවා..

විවාපත් වන යුවළක් තමන් අපේක්ෂා කරන කාලයට දරු පල ළඟා නොවන විට ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැත. අරයා හොඳයි, මෙයා හොඳයි යනුවෙන් හිතමිතුරන් පවසන ඕනෑම තැනකට ඔවුන් යනවා…. දේශීය, ආයුර්වේද, බටහිර, ඇලොපති, හෝමියෝපති, කටුචිකිත්සා ආදී මෙකී නොකී වෛද්‍ය ක්‍රම අත්හදා බලති. ඒ අතර ගුරුකම්, ශාන්තිකර්ම, තොවිල් කරති. පන්සල්, පල්ලි, කෝවිල් යති. බාරහාර වෙති. අයි.වී.එෆ්. (In Vitro Fertilization) නොඑසේ නම්, ගර්භාශයෙන් පිටතදී සංසේචනය කරන ඩිම්බයක් මවු කුසේ තැන්පත් කිරීමට දරුවන් පතන මවුපියන් ඇදී යන්නේ බොහෝ විට නොයෙක් ප්‍රතිකාර කළත් ප්‍රතිඵල නොලබන තැනයි..

මෙම ක්‍රමයේදී සිදුවන්නේ මවගෙන් ලබාගන්නා ඩිම්බයක් හා පියාගෙන් ලබාගන්නා ශුක්‍රාණුවක් සුදුසු තත්ත්ව යටතේ පර්යේෂණාගාරයකදී නළයක් තුළ සංසේචනය කොට එම කලලය නිශ්චිත කාලයකදී මවගේ කුසේ තැන්පත් කිරීමයි…

එක නළ දරුවකු තැන්පත් කිරීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල ශ්‍රී ලංකාවේදී නම් රුපියල් දස ලක්ෂයක් තරම් වේ. මුදල් හදල් යහමින් ඇති මවුපියවරු ලක්ෂ පනහක් හැටක් වියදම් කර විදේශවලට ගොස් මෙම ප්‍රතිකර්මය සිදු කර ගන්නවා..

දරුවන් අමිලය. මිල කළ නොහැකිය. තම ලෙයින් හැදුණු දරුවකුගේ කිරි සිනා දකින්නට සිහින මවන මවුපියෝ ගේ ‍ෙදාර විකුණා දමා හෝ මේ මුදල වැය කරති. රාජ්‍ය අංශයේ රෝහල්වල නළ දරු උපත් ක්‍රමය මෙතෙක් හඳුන්වාදී නැති අතර පෞද්ගලික රෝහල්වල පමණක් ක්‍රියාත්මක වෙනවා..

එසේ කවර බාධක විඳිමින් ප්‍රතිකාර ගත්තත් විවිධ හේතු නිසා මෙම කලලය විනාශ වන අවස්ථා බොහෝය. මේ නිසාම එක් ඩිම්බයක් වෙනුවට ඩිම්බ කිහිපයක් සංසේචනය කොට තැන්පත් කිරීමට (Higher order pregnancy) සමහර වෛද්‍යවරු පියවර ගනිති. කාසල් වීදිය කාන්තා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන දරුවන් එසේ කලල කිහිපයක් තැන්පත් කිරීමෙන් ඇති වූවන් බව පැවසුවා…

එහෙත් මෙම ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබන මවකගේ කුසක කලල දෙකකට වඩා තැන්පත් කිරීම ලෝකයේ බොහෝ රටවලදී නීති විරෝධී කටයුත්තක්…. කලල දෙකක් වුවත් තැන්පත් කරන්නේ විශේෂ අවස්ථාවන්හිදීය… නීති විරෝධී අන්දමින් එසේ තැන්පත් කිරීම අදාළ ආයතනයේ බලපත්‍රය පවා අහෝසි විය හැකි කරුණක්…

එසේ කලල කිහිපයක් තැන්පත් කිරීමෙන් මවට හා දරුවන්ට හානි සිදුවිය හැකි බව වෛද්‍ය මතයයි…

ඒ පිළිබඳ අදහස් දැක්වූ උතුරු කොළඹ මහ රෝහලේ මඳ සඵලතාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාර ජයවර්ධන පවසන්නේ, ලෝකයේ බොහෝ රටවල නළ දරු උපත් පිළිබඳ කටයුතු නියාමනයක් සිදුවන බවයි.. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල මෙම කටයුත්ත නියාමනය කිරීම වෙනුවෙන් සැකසුණු විශේෂිත ආයතන පවතිනවා… එම ආයතන නියාමනය පමණක් නොව නිරන්තර අධීක්ෂණයද සිදුවෙනවා..

එහිදී ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රමය ආරක්ෂිතද? අදාළ පුද්ගලයාට යෝග්‍යද? ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුහොත් කළමනාකරණය කර ගැනීමේ ධාරිතාවක් එම ආයතනවලට ඇත්ද? වැනි අංශ කෙරෙහිත් අවධානය යොමු වෙනවා… එමෙන්ම මෙම දරුවන්ට පීඩාවක් නොවන සේ හදා වඩා ගැනීමට මවුපියන්ට ඇති හැකියාවද එම ආයතන විසින් ඇගයීමට ලක් කරනු ලබනවා..

එකී දරුවන් බිහිකිරීම්වල සෞඛ්‍ය හා සමාජ තත්ත්වයන් ගැන පවා මේ ආයතන මඟින් නිරන්තර අධ්‍යයනය කරනු ලබනවා…. යම් තැනක ප්‍රමිතියෙන් තොරව කටයුතු සිදුවන්නේ නම් එහිදී නිවැරදි කිරීමට යම් කාලයක් ලබාදී එය සිදුනොවන්නේ නම් ඊට එරෙහිව නීතිය මඟින් කටයුතු කිරීමටද මෙම අධිකාරින් පියවර ගනු ලබන බවද වෛද්‍ය උදාර ජයවර්ධන පෙන්වා දෙනවා…

ශ්‍රී ලංකාවේ මෙවැනි නළදරු තාක්ෂණයෙන් ප්‍රතිකාර කරන ස්ථාන ගණනාවක් පවතිනවා…. ප්‍රධාන නගර ආශ්‍රිතව ස්ථාපිත මෙම ආයතන බොහොමයක හිමිකරුවන් වන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්… ඒ සියල්ල නව්‍ය තාක්ෂණයෙන් සන්නද්ධ බව ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ගේද අදහසයි…

කෙසේ වෙතත් මවුපියන් එම ආයතනවලින් ප්‍රතිකාර ගන්නට යන්නේ මෙම ක්‍රමයේදී හරියටම සිදුවන්නේ කුමක්දැයි දැනුවත්වම නොවේ…

“ජනතාව අයි.වී.එෆ්. ගැන දන්නේ නැහැ… එහෙම දන්නේ නැති නිසා විවිධ ප්‍රශ්නවලට මුහුණපානවා… දරුවන් නැති මවුපියවරු තවත් අයගෙන් අසා දැනගෙන මෙතැන හොඳයි කිව්වම යනවා… ඒ තැන්වලට ගියාම මෙහෙම හොඳයි කියලා යෝජනා කළාම ඒක පිළිගන්නවා…

නමුත් සිදුවිය යුත්තේ තමන් ඒ ගැන දැනගෙන ඒ තැන්වලට යන එකයි. විශේෂඥ පුහුණුව ලැබූ අය ඉන්නවාද? වෛද්‍යවරු කවුද? මීට පෙර ප්‍රශ්න ඇති වී තියෙනවාද? වගේ කාරණා දැනගෙන යා යුතුයි… එහි ගොස් තමන්ගේ අවශ්‍යතාව සාකච්ඡා කළ යුතුයි… වෛද්‍යවරයාට හැකි විය යුතුයි රෝගියා සිටින තත්ත්වය පැහැදිලි කරලා ඊට දෙන ප්‍රතිකාරත් පැහැදිලි කරන්න… ඒ වගේම සංකූලතා ඇතිවිය හැකිද? එසේ නම් කළ යුතු කුමක්ද? ආදී දේ ද පැහැදිලි කළ යුතුයි. ප්‍රතිකාර පටන්ගත යුත්තේ අනතුරුවයි… මෙන්න මේ දේවල් සිද්ධ වෙනවාද කියා නියාමනය කරන්නයි ආයතනයක් අවශ්‍ය වන්නේ…

මහජනතාවට කියන්න තියෙන්නේ මේ තාක්ෂණයෙන් දරුවෙක් බලාපොරොත්තුව යන අයට හරි ප්‍රතිකාර ක්‍රමයක් ලැබෙනවාද නැද්ද කියන එක දැනගන්න අයිතිය තියෙනවා… හයක් නෙවෙයි දෙන්නෙක් වුණත් එයින් අම්මට අවදානමක් තියෙනවා… සමහර විට හදිසි සැත්කම්වලට යන්න වෙනවා. දරුවන්ටත් ලොකු අවදානමක් තියෙනවා… මේ අවස්ථාවෙත් වෙලා තියෙන්නේ එහෙම දෙයක්… ඉතාම අඩු මාස ගණනකින් ඉපදිලා.. එහෙම ලැබෙන දරුවො ජීවත් වෙන්න හෝ නොවෙන්න ඉඩ තියෙනවා… ජීවත් වුණත් සංකූලතා තියෙන්න පුළුවන්…

ඒ වගේම ලොකු කාලයක් නොමේරූ ජන්ම ඒකකවල ඉන්න සිදුවෙන්න පුළුවන්… තනි දරුවෙක් පිළිසිඳ ගැනීමෙන් එහෙම වෙන්න තියෙන අවදානම අඩුයි… නළදරු තාක්ෂණය අපි යොදා ගන්නේ ඇත්තටම තනි දරුවෙක් හදන්නයි… නමුත් සාර්ථක වීමේ ප්‍රතිශතය දෙස බලන විට බොහෝ වෛද්‍යවරු කලල දෙකක් තැන්පත් කරනවා… ඒත් එහෙම කරන්න කලින් අම්මට කියලා දැනුවත් කර මේ ප්‍රතිකාරය කළ යුතුයි” යැයිද විශේෂඥ වෛද්‍ය උදාර ජයවර්ධන පවසනවා..

මේ සය නිවුන් දරුවන්ගේ උපත එක්ක මුළු මහත් සමාජයම දැනගත් සැඟවුණු කතාවක් ඇත… අපේ රටේ කෘත්‍රිම දරු උපත් ප්‍රතිකාරවල කිසිදු පාලනයක් හෝ නියාමනයක් නැති බවයි.. මෙම ප්‍රතිකාරය සිදුකරන වෛද්‍ය මධ්‍යස්ථානවලට අවශ්‍ය වන්නේ ප්‍රතිඵලයක්…

ටියුෂන් ගුරුවරයාට තම සිසුන්ගේ සාමාර්ථය ඊළඟ ටියුෂන් කණ්ඩායම ගෙන්වා ගැනීමට ප්‍රබල අලෙවි සාධකයක් වන්නා සේ අයි.වී.එෆ්. මධ්‍යස්ථානවල සාර්ථකත්වයට බලපාන්නේ දරු උපතක්… ඒ නිසා ඔවුහු ඒ වෙනුවෙන් සීමා මායිම් ඉක්මවා ක්‍රියා කරනවා.. මේ සය නිවුන් දරු උපතද එවැනි ප්‍රතිඵලයක් බව පියාගේ කතාබහින් අපට පෙනී යනවා..

“අපි මුලින්ම ස්කෑන් එකේදී දරුවන් පස් දෙනෙක් කියලයි දැනගත්තේ… සාමාන්‍ය විධියට පොඩි පඩියක් අරන් ජීවත්වෙන අපි කොහොම එක සැරේ දරුවො පස් දෙනෙක් හදන්නද? ඒ නිසා දැනගත් ගමන් අපි අයි.වී.එෆ්. කළ වෛද්‍යතුමාට කිව්වා මෙයින් දරුවන් දෙන්නෙක් හදලා දෙන්න කියලා… එහෙම ඉවත් කරන එක ශ්‍රී ලංකාවේ තහනම් කියලා වෛද්‍යවරු පැවසුවා..

විවාහ වුණාට පස්සෙ ජීවත් වුණේ කුලී නිවෙසක.. මම විතරයි රස්සාවක් කරන්නේ.. බිරියට විශේෂ සාත්තු අවශ්‍ය නිසා අපි ඇයගේ මහ ගෙදර ගියා. ඇත්තටම අපට කියලා නිවෙසක් නැහැ.. දරුවන් හය දෙනෙක් අපි කොහොම ජීවත් කරන්නද?

මට ආරංචි වුණේ කිරිපිටිවලට දවසකට රුපියල් දෙදාහක් යනව කියලයි. ඇත්තටම ඒ ගැන හිතද්දි මට බයත් හිතෙනවා. මේක අභියෝගයක්. මගේ මාසික වැටුප රුපියල් පනස්දාහයි” යැයිද එම පියා පසුගියදා මාධ්‍යයට කීවා..

නීති රීති සම්පාදනය වී නැතත්, සදාචාරාත්මක කෝණයකින් බැලූවිට මෙසේ දරුවන් 6 දෙනකු එකවර ලබාදීමෙන් ඔවුන් ජීවත් කරවීම රෝහලටත්, නොමේරූ ළදරු ඒකකයටත්, මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක් බවට පත්වෙනවා..

නළ දරු තාක්ෂණයේදී මවුකුස තුළ තැන්පත් කෙරුණු කලල අතරින් රෝගී කලල හඳුනාගත්තත් ඒවා ඉවත් කිරීමට ශ්‍රී ලංකාවේ නීතියක් නැහැ… නළ දරු තාක්ෂණයේදී පමණක් නොව සාමාන්‍ය තත්ත්වයන් යටතේ පිළිසිඳ ගත් දරුවකු වුවත් සාමාන්‍ය පරිදි ජීවත් කළ හැකි නොවේ නම් එම කලලයන් ඉවත් කිරීමේ අවසරය වෛද්‍යවරුන් වෙත තිබිය යුතුය. එසේ නොවුණු තැන සෞඛ්‍ය අංශ අපහසුතාවට ලක්වන අතර මවුපියන් ජීවිත කාලයම විඳවන අවස්ථා පවා ඇතිවෙනවා..

දැනට මෙම දරුවන්ගේ ජීවිත රැකගැනීමේ සටනේ සිටින කාසල් කාන්තා රෝහලේ නව ජන්ම දරුවන්ගේ ඒකක ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමන් කුමාර කීවේ මෙවන් කරුණු පිළිබඳ සමාජය දැනුවත් නැති බවයි..

“මේ දරුවන් බේරා ගැනීමේ අභියෝගයට අපි මුහුණදී සිටිනවා. මේ බිලිදුන්ට දැනට පිටිකිරි දෙන්නෙ නෑ. හැම දරුවකුටම මවුකිරි දීම ප්‍රමාණවත් නැති නිසා වෙනත් මවකගෙන් ලබාගන්නා මවුකිරි (Donor fresh milk) ජීවානුහරණය කර ලබා දෙනවා. මෙහෙම වෙනත් මවකගෙන් ලබා ගන්නා මවුකිරි දෙන එකම රෝහල කාසල් වීදියේ කාන්තා රෝහල පමණයි” යැයිද විශේෂඥ වෛද්‍ය සමන් කුමාර පැවසුවා.

මෙම දරුවන්ගේ උපත වෙනුවෙන් කළ සිසේරියන් සැත්කම සිදුකරන අවස්ථාව වනවිට කාසල් වීදිය කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තිබී ඇත්තේ ඇඳන් හතරක්.. ඒ වනවිට වෛද්‍ය කණ්ඩායම දැනුවත් වී ඇත්තේ ඇගේ කුසෙහි දරුවන් පස් දෙනෙක් සිටින බව වන නිසා කාර්ය මණ්ඩලය දැඩි සත්කාර ඒකකයට තවත් ඇඳක් සකස් කර තිබේ. එහෙත් සැත්කමේදී දරුවන් පස්දෙනකු ලබාගැනීමෙන් පසු තවත් දරුවකු ගැබෙහි සිටින බව දුටු බවත්, ඔහුට ඇඳක් නොමැති බැවින් ඔහු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට යැවූ බවත් වෛද්‍ය සමන් කුමාර පැවසුවා..

“අපට මාසෙකට දරුවන් 30 දෙනෙක් විතර දැඩි සත්කාර ඒකකයට එනවා. කොරෝනා වසංගතයට කලින් තරම් අපේ රෝහලේ දරු උපත් සිදුවෙන්නේ නැහැ. නමුත් කලින් වගේම තවමත් මාසෙකට දැඩි සත්කාර ඒකකයට දරුවන් 30 දෙනෙක් පමණ මාසිකව එනවා. දැන් හිතන්න මේ වෙලාවේ එවැනි දරුවෙක් මේ ඒකකයට ආවොත් අපි මොකද කරන්නේ? ඇත්තටම අපිට සිද්ධ වෙනවා වෙනත් රෝහලකට ඒ දරුවා යවන්න. සමහර විට ඥාතීන්ට යන්න බැරි තරම් දුර, ගාල්ල, මඩකළපුව වගේ අෑත රෝහල්වලට යවන්න සිද්ධ වෙනවා. බොහෝ විට අතරමඟ ඒ දරුවා ජීවිතයෙන් සමුගන්නවා.

මේ දරුවන් හය දෙනාට රෝහල් කාර්ය මණ්ඩලයෙන් විශේෂයෙන් වෙන් කළ යුතුයි. එක් දරුවකුට එක් හෙද නිලධාරිනියක් අවශ්‍යයි. නමුත් පවතින කාර්ය මණ්ඩල හිඟය නිසා හෙද නිලධාරිනියන් විසින් දරුවන් දෙදෙනා බැගින් බලනවා. සමහර විට තුන් දෙනාත් බලනවා. ඇත්තටම අසීරු හා අවදානම් කාර්යයක් ඒක. දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු 26ක් ඉන්න ඕන වුණත් ඉන්නේ 15 දෙනයි. හෙද නිලධාරිනියන් 60ක් ඉන්න අවශ්‍යයි. නමුත් ඉන්නේ 48 දෙනයි” යැයිද වෛද්‍ය සමන්කුමාර තවදුරටත් සඳහන් කලා..

දරුවන් සම්පතක් බව සැබෑ නමුත් වර්තමානයේ එය පහසු නැත. සාමාන්‍ය වැටුපක් ගන්නා මවුපියන්ට මෙසේ දරුවන් හය දෙනෙක් එකවර ලැබුණොත් කෙබඳු තත්ත්වයක් ඇතිවේද?

මේ දරුවන් උපන් මොහොතේ ඔවුන්ගේ පියා වන ඉසුරුගේ වදන් ඊට හොඳ උදාහරණයක්… සෑම අතකින්ම පෙනෙන්නේ මෙම කටයුත්ත නියාමනය වීමේ අවශ්‍යතාවයි. යම් නියාමනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් නළ දරු උපත් කර දෙන වෛද්‍යවරු ඒ ගැන කතා කරන්නට කැමැති වූයේ නැත… එහෙත් මේ සය නිවුන් දරුවන් මතු කර පෙන්වූ අලුත් කාලයේ අර්බුදය පටන් ගත්තා පමණක් විය හැකියි…

උපුටා ගැනීමකි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: