hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 16, ප.ව. 2:01



ගිනි තබා විනාශ කර ඇති ආරච්චිකට්ටුවේ පිහිටි තම නිවසේ තත්ත්වය සොයා බැලීම සදහා හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා අද (16) දහවල් එහි පැමිණියා.

පසුගිය 09 වැනිදා රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ නිවස සහ ඒ ආසන්නයේ පිහිටි හිටපු රාජ්‍ය ඇමතිවරයාගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත පෙරේරා යන අයගේ නිවසටද ගිනි තබා හානි කර තිබුණා.

ජගත් සමන්ත මහතා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන අතර වර්තමානයේ එම සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරයි.

තම සහෝදරයා වන ජගත් සමන්ත මහතාගේ ගිනි තබා ඇති නිවසට ගිය සනත් නිශාන්ත පෙරේරා මහතා අනතුරුව තමන්ගේ නිවසට පැමිණියා.

ගිනි තබා විනාශ කර ඇති නිවස, ත්‍රීරෝද රථයක් සහ ට්‍රැක්ටර් රථයක්ද එහිදී හිටපු රාජ්‍ය ඇමතිවරයා විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

ත්‍රීරෝද රථය තුළ තිබූ ගිනි ගෙන විනශ වී ඇති තම දරුවාට අයත් පා පැදියක් දැක හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දැඩි ලෙස සංවේදී තත්ත්වයට වුණා.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මෙසේ කියා සිටියා,

“මීට පෙර අවස්ථා දෙකකදී තම නිවස ගිනි තබා විනාශ කළ බවත්,තමන් පදිංචි නිවසක් ගිනි තබා විනාශ කළ තුන්වන අවස්ථාව මෙයයි. මුලින්ම අපේ මහ ගේ ගින්දර තියලා විනාශ කරලා ඊට පස්සේ අපේ තාත්තට තිබුණු ඉඩකඩම් පවා ඒ අය බලහත්කාරයෙන් ලියා ගත්තා. ඒ හිතේ අමාරුවට තාත්තා සිය දිවි හානි කර ගත්තා. ඊට පස්සේ තමයි මට හිතුනේ දේශපාලනයට එන්න. පස්සේ ටිකෙන් ටික නැවත්ත ගෙයක් හදා ගන්න කටයුතු කලා. එහෙම හදපු ගේ නැවත වතාවක් කිසියම් පිරිසක් විසින් ගිනි තියලා විනාශ කලා. එදත් අපව වට්ටන්න බැරිව ගියා.ඊට පස්සේ අවුරුදු 14 ක් ගියා මට මගේම කියලා ගෙයක් හදා ගන්න.අද ඒ ගෙයත් ගිනි තියලා විනාශ කරලා. ගෙවල් ගිනි තියලා මගේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. එහෙම වෙන්නෙත් නෑ. මම මේ සිද්ධියෙන් පස්සේ තවත් ශක්තිමත් වෙනවා. ඒක නවත්වන්න බැහැ.”

“මේ වෙන කොට පුත්තලම දිස්ත්‍රික්කයේ ඇමතිවරු, මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරු, පළාත් පාලන ආයත නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ නිවාස වලට ගිනි තියලා. එහෙමත් නැත්නම් දේපල වලට හානි කරලා තියෙන්නේ. ඒ සියළුම දෙනාගේ හානිය අපි මේ වන විට තක්සේරු කර ගෙන යනවා. මම පසුගිය කාලයේ නිවාස 3000 කට වැඩිය හදලා ජනතාව පදිංචි කරවලා තියනවා. ඒ නිසා හානියට පත්ව ඇති නිවාස නැවත හදන එක අපිට ලොකු වැඩක් නොවන බවයි මාගේ අදහස. ඒ කටයුත්ත ආණ්ඩුවෙන් කරන්න සුදානම් වෙන බවක් දැන ගන්නට තියනවා. නමුත් කියන්න කැමතියි මගේ ගේ ආණ්ඩුවෙන් හදනකල් මම බලාගෙන ඉන්නේ නෑ. මගේ ගේ මම නැවත ඉක්මනින් හදන්න පටන් ගන්නවා. පසුගිය මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණයක් ගත්තේ මම. ඒක ඇත්ත. වැඩිම මනාප ප්‍රමාණයක් ගත්තු මම කළේ පාරවල් හැදුවා. ගෙවල් හැදුවා.රෝහල් හදන්න කටයුතු කලා වගේ දේවල්. නමුත් අද මම එක දෙයක් ඉගෙන ගෙන තියනවා.මොන තරම් රටේ සංවර්ධන වැඩ කළත් වැඩක් නැහැ අපිට මිනිස්සු හදන්න බැරිනම්. අපි මුලින්ම කළ යුත්තේ මිනිස්සු හදන එකයි.”