hit counter

2026 සැප්‍තැම්‍බර් මස 20 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:26



දූ දරුවන්ට ගුරුහරුකම් දුන්, ගුරුවරුන් සමඟ පාසල වෙනුවෙන් කැපවුණු ඒ ආදරණීය විදුහල්පතිවරයා ඊයේ අවසන් ගමන් යන දවසයි. 

අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ දඹුල්ල ජාතික පාසලේ 38 හැවිරිදි විදුහල්පති ජානක විජේසිංහ මහතාගේ අවසන් කටයුතු ඊයේ සිදු කිරීමට නියමිතයි.

උදෑසන ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, විශේෂ රථ පෙරහරකින් දේහය ඔහු සේවය කළ දඹුල්ල ජාතික පාසල වෙත රැගෙනවිත් තිබුණා.

ඒ වන විටත් තම විදුහල්පතිවරයාගේ වියෝව දරාගත නොහැකිව දූ දරුවන්, ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් කඳුළු සලමින් අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. 

ඒ අතර ඔහුගේ ආදරණීය බිරිඳ මනෝජා නීලමණී විජේසූරිය කියූ වදන් හමුවේ මේ වියෝවේ වේදනාව තවත් තදින් දැනෙනවා…

“මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ දඹුල්ල ජාතික පාසලේ ගුරු සේවයේ නිරත වෙලා ඉන්න භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට නේවාසිකාගාරයක් හදලා, වස් සමාදම් කරලා මහා ලොකු වස් පින්කමක් කරන්න…”

ඒ උදාර බලාපොරොත්තුව ඉටු කරගන්නටත් පෙර ඔහුට ජීවිතයෙන් සමුගන්න සිදුවුණා.

අනතුර සිදුවූ දවසේත් ඔහු ගොස් තිබුණේ දිළිඳු දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ පින්කමකටයි.

” වැඩ ටික ඉවර කරලා පාසලටත් ගිහින් ගෙදරට බඩු ටිකකුත් අරන් එන්නම්…”

ඒ ඔහු බිරිඳට අවසන් වරට කියූ වචන අතරින් කිහිපයක්.

ඒත් එදින රාත්‍රියේ ඇයට අසන්නට ලැබුණේ තම සැමියා පිළිබඳ ඒ වේදනාත්මක පුවතයි… 

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා අලුයම සිදුවූ මෙම අනතුරින් විදුහල්පතිවරයාගේ ජීවිතය අහිමි වුණා.

අනතුරෙන් පසු විනාඩි 45කට ආසන්න කාලයක් මෝටර් රථය තුළ සිරවී සිටි ඔහු ප්‍රදේශවාසීන් විසින් පිටතට ගෙන දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියා.

ඔහුගේ බිරිඳ සමාජයෙන් ඉල්ලා සිටින්නේ නොහික්මුණු රිය ධාවනය පිළිබඳ කඩිනමින් අවධානය යොමු කරන ලෙසයි.

ඒ වගේම, තම සැමියාගේ අනතුරට අදාළ සංවේදී ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා නොහරින ලෙසත් ඇය ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: