hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 3:14



පැලවත්තේ නිවෙසක තෙවැනි මහලේ නාන තටාකයක මරා දමා තිබියදී සොයාගත් ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුවළ පැය 24ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙනවා

ව්‍යාපාරිකයාගේ ඝාතකයා බවට හඳුනාගෙන සිටින අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් සහ ඔහුගේ බිරිය වන හුස්වා ෆස්ලිම් යන දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම අවසරය ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

කඳාන පොලිසියේ නිලධාරියකුට හුස්වා ෆස්ලිම්ගේ පුංචි අම්මා විසින් දුරකතන ඇමතුමක් ලබාදී ඔහුගෙන් ලද උපදෙස්වලට අනුව සැකකාර අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් නමැත්තාව කඩවතට රැගෙන ගොස් පොලිසියට භාර දී ඇති බවත් පසුව කඳාන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට 05 වනදා භාරදී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළා.

මෙම යුවළ ඊට පෙර දින රැය ගතකර ඇත්තේ ත්‍රිකුණාමලයේ බවද විමර්ශන වලින් හෙළිවී තිබෙනවා.

ත්‍රිකුණාමලයේ සිට 05 වනදා මෙම යුවළ බස් රථයකින් පැමිණ කඩවතින් බැස ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවක් අසල රැඳී සිට ඇති බවත් පොලීසිය පැමිණ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදී බවත් සඳහන්.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසුව මෙම යුවළ ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංචාරයක නිරත වීමේ අපේක්ෂාවෙන් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු දින එනම් 31 වෙනිදා අලුයම 3.30 පමණ වන විට බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුළු වී සිට ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබුණා.

ගුවන් තොටුපොළ පරීශ්‍රයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් මෙම යුවළ අලුයම 3.48 හෝ ඒ ආසන්න වේලාවක් තුළදී ජල බෝතල් දෙකක්ද මිලදී ගෙන ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබෙනවා.

වීසා ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් ඉන්දුනීසියා ගමන ගුවන් තොටුපොළින්ම නතර කිරීමට සිදුවීම හේතුවෙන් මෙම යුවළ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට උදෑසන 5.30ත් 6.00ත් අතර කාලය තුළ පිටතට පැමිණ ත්‍රිරෝද රථයකින් කටුනායක බස් නැවතුම වෙත ගොස් ඇති බව සඳහන්.

ඒ යන අතරතුර ඔවුන් අලුයම 6.05ට පමණ කටුනායක පිහිටි ව්‍යාපාරික ස්ථානයකට ගොස් ද ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

මෙම යුවළ කටුනායකින් බස් රථයක නැඟී කොළඹට පැමිණ එතැනින් කොළොන්නාවට පැමිණ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිට ඇති බවද විමර්ශනවලින් කොළඹ අපරාධ කොට්ඨාසය හෙළිකරගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය බලා ගොස් ඇත්තේ ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවූ බව ජන මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමඟයි.

නිසි රැකියාවක් මෙන්ම ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව සිටි ප්‍රධාන සැකකරු 30 වෙනිදා සිට වැය කර ඇත්තේ කෝටිපතියාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ මුදල්ය. මළ සිරුර හමුවීමත් සමඟ එම කාඩ්පත් අත්හිටුවීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පියවර ගැනීම නිසා සැඟවී ජීවත්වීමට නොහැකි වූ තැන ත්‍රිකුණාමලයේ සිට පැමිණ ඇති බවයි විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ.

මෙම ප්‍රධාන සැකකරු කලක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක පිහිටි දුරකතන හා විද්‍යුත් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකද සේවයේ නිරතව සිට ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

පසුගිය 30 වෙනිදා ව්‍යාපාරිකයාව ඝාතනය කර ගුවන් තොටුපොළට ගොස් ගුවන් තොටුපොළේ සිට නැවත කොළොන්නාවට පැමිණෙන තුරුම ප්‍රධාන සැකකරුගේ මුහුණ පුරා වැවී තිබුණු රැවුල, අත්අඩංගුවට ගන්නා විට තිබී නැත.

උඩු රැවුල පමණක් ඉතිරි කර මුහුණ පුරා වැවී ඇති රැවුල කපා ඔහු සිය ස්වරූපය වෙනස් කරගෙන සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මෙම සැකකරු සතුව තිබී ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියෙන් සොරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් 04න් දෙකක් සොයාගෙන තිබෙනවා.

සෙසු කාඩ්පත් දෙකට සිදු වූ දෙයක් ඔහු නිසි ලෙස පවසන්නේ නැති බව පොලිසිය කියයි.

මෙම සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය තමා සොරා නොගත් බවකි.

මෙතෙක් පොලිසියට මෙම මුදල් පසුම්බිය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය ද මෙම සැකකරු විසින් පැහැරගෙන ගොස් තිබුණා.

ඉන්දුනීසියාවට යාමට ගුවන් ටිකට්පත් පවා ඔහු වෙන් කරගෙන තිබුණේ එම ජංගම දුරකතනයෙන්.

එසේම ඔහු එම ජංගම දුරකතනයෙන් ඇමතුම් රැසක්ද ලබාගෙන තිබුණා.

එම දුරකතනය ගැන ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේ වැල්ලවත්තට ගිය තමා එය මුහුද දෙසට විසිකළ බවයි.

මුහුද දෙසට එම ජංගම දුරකතනය විසි කළේ යැයි කියන ස්ථානය සහ ඒ අවට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂාවක් කර ඇතත් ඊයේ සවස් වන තුරුම එම ජංගම දුරකතනය හමුවී නොතිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුගෙන් කරනු ලබන දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ ඇප් එකක් හරහා තමා මෙම ව්‍යාපාරිකයාව මාසයක පමණ කාලයක් තිස්සේ දැන හඳුනාගෙන සිටි බවයි.

ඔහු සමඟ එම ඇප් එක මඟින් අදහස් හුවමාරුකරගෙන සිටියත් මුල්වරට ඔහුව මුණ ගැසුණේ පසුගිය 30 වෙනිදා බවද සැකකරු පවසා තිබෙනවා.

ව්‍යාපාරිකයා ඝාතනය වී ඇත්තේ එම මුල්ම හමුවීමෙන් පසු බව සැකකරුගේ ප්‍රකාශ මත පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

දෙදෙනා එදා මුලින්ම හමුවූවත් ඇප් එක මඟින් පැවති සම්බන්ධකම හේතුවෙන් ලොකු හිතවත්කමක් පැවති බව ද සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: