hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 11, පෙ.ව. 12:12



මෙම වසරේ මුල් මාස හතරේ දී අලුතින් මත්පැන් හල් 37ක් සුපිරි වෙළෙඳසල්හි විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇති අතර ඉන් 16ක්ම සතොස වෙළෙඳසල් සඳහා ලබා දී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, අලුතින් මත්පැන්හල් 474ක් ලබා දිය හැකි වුවද පසුගිය වසර (2023) තුළදී ද අලුතින් නිකුත් කර ඇත්තේ ‘රාබී’ වර්ගයේ මත්පැන් හල් බලපත්‍ර 58ක් පමණක් බවත්ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මත්පැන් හල් විවෘත කිරීමට බලපත්‍ර ලබා දීමක් සිදුවී තිබෙන බවට ප්‍රසිද්ධ වී ඇති බැවින් එලෙස නව බලපත්‍ර ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය හෙළි කරන්නැයි මන්ත්‍රීවරයා යෝජනා කරනු ලැබුවා.

නමුත් රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මත්පැන්හල් බලපත්‍ර ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ගැන හිතලාවත් නොමැති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර ඔහු කියා සිටියේ, රටේ 2023-01-01 වැනිදා වන විට පැවැති මත්පැන් හල් සංඛ්‍යාව 5516ක් බවත් බලපත්‍ර වර්ග 30ක් යටතේ ඒවා නිකුත් කර තිබූ බවත් 2024-01-01 වන විට එම ප්‍රමාණය 5730ක් දක්වා වැඩි වූ බවත්, ඉන් නව බලපත්‍ර 147ක්ම ලබා දී ඇත්තේ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍යතාව සලකා බලා බවයි.

කෙසේ වෙතත් 2022 වසරට සාපේක්ෂව 2023 වන විට සියයට 19කින් මෙරට මත්පැන් පරිභෝජනය පහත වැටී ඇති අතර මත්පැන් නිෂ්පාදනය ද ලීටර් මිලියන 8.2කින් අඩුවී ඇති බව ද ඔහු සඳහන් කළා.

ඒ අතරේ පහළ මධ්‍යම පන්තියේ සහ අඩු ආදායම් ලබන පන්තියේ ජනප්‍රියම මෙන්ම වැඩියෙන්ම අලෙවි වූ බව කියන කාලේ බෝතල් නිෂ්පාදනය 2023 වසරේ සියයට 14.5කින් පහත වැටී ඇති අතර ගල් අරක්කු පානය ද මේ වසරේ සියයට 38කින් පහත වැටී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: