hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 6:11



සාර්ක් සංවිධානයේ කොළඹ ප්‍රඥප්තිය හා 16 වන සමුළු රැස්වීමට අනුව මෙට්‍රික් ටොන් 8000ක  විශේෂ සහල් සංචිතයක් පවත්වාගත යුතු වීම සහ 2008/8/27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දිවයින පුරා පවතින ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවල මෙට්‍රික් ටොන් 100,000 ක ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම සිදු නොවීම සම්බන්ධව කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ පැවති අංක 1, 7, 8, 9,10 හා 13 යන ගබඩා 06 විද්‍යාත්මක සහ ස්වාභාවික ලෙස නවීකරණය කොට තිබියදී උක්ත සංචිත පවත්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධව මෙහිදී කමිටු සාමාජිකයන් විසින් විමසා තිබෙනවා. මෙම ගබඩා නවීකරණය කිරීම සඳහා 2012 සිට 2019 දක්වා රුපියල් මිලියන 292ක් වැය ‍කර ඇති බවයි එහිදී හෙළි වුණේ.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) රැස්වූ අවස්ථාවේදීයි.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩා උපයෝජනයේ කාර්යසාධනය පිළිබඳ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණා.

එහිදී නිලධාරීන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටියද එය නොලැබීම හේතුවෙන් ඉහත සඳහන් සංචිත පවත්වා ගැනීම සිදු කළ නොහැකි වූ බවයි.

සාමාන්‍යයෙන් සහල් මෙට්‍රික් ටොන් 1,00,000ක් පවත්වා ගැනීමට වසරකට රුපියල් බිලියන 22ක් පමණ අවශ්‍ය වන බවද මෙහිදී අනාවරණය වුණා.  

මෙට්‍රික් ටොන් 2,50,000ක් ගබඩා කළ හැකි ගබඩා සංකීර්ණයක් විද්‍යාත්මකව නවීකරණය කළද එහි ධාරිතාවය උපරිමයට සමාන සංචිත ප්‍රමාණයක් ගබඩා කිරීමට මේ තාක් නොහැකි වූ බවත් මේ වන විට ලැබෙමින් පවතින ලෝක ආහාර වැඩසටහනේ අධාර සහ අනෙකුත් රටවල් වලින් ලැබෙන සහල් ආධාර ගබඩා කිරිම මේ වන විට ආරම්භ කර ඇති බවත් එහිදී නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

රට පුරා පවතින රජයේ ආහාර ගබඩා සංකීර්ණ පිළිබඳ නිසි පර්යේෂණයක් සිදු කොට දත්ත එක්රැස් කරන ලෙස සහ ගබඩා වල අයිතිය පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත් වාර්තාවක් මාසයක් තුළ ඉදිරිපත් කරන ලෙසද කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම, රටතුළ නිශ්චිත සහල් සංචිත පවත්වා ගතයුත්තේ කුමන ආයතනය විසින්ද යන්න පිළිබඳ සොයාබලා නිවැරදි දැනුවත් කිරීමක් සිදු කරන ලෙස කමිටු සභාපතිවරයා වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාවෙත දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.   

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා සංකීර්ණ වෙනත් රජයේ හෝ පෞද්ගලික ආයතන වෙත කුලී පදනම මත ලබා දීමේදී ඇතිවී තිබෙන අක්‍රමිකතා සහ මාසික කුලී අයකරගැනීමේ ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එහිදී කමිටුව දැනුම් දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහයෝගයද සහිතව අදාළ ගිවිසුම් අවශ්‍ය ලෙස සකසා ගන්නා ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: