hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 16, ප.ව. 3:06



ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්‍ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ සමාගමක් මෙන්ම HNB සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්) සමාගම සහ හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank) අතර HNB අධිෂ්ඨාන ණය වැඩසටහන වෙනුවෙන් පසුගිය වසරේදී ආරම්භ කරන ලද සහයෝගීතාවය නැවත අලුත් කිරීමට එම සමාගම් පසුගියදා කටයුතු කළේය. මෙම සහයෝගීතාවය හරහා HNB අධිෂ්ඨාන ණය වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින පාරිභෝගිකයන් හට සුවිශේෂී රක්ෂණාවරණ සහ සේවාවන් ලබාදීමට HNB General Insurance සමාගම කටයුතු කර තිබුණු අතර නැවත අලුත් කරන ලද ගිවිසුම යටතේ මෙම රක්‍ෂණාවරණයන් සහ සේවා පරාසයන් තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

HNB බැංකුව විසින් විදේශ රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හඳුන්වා දුන් අධිෂ්ඨාන ඉතුරුම් යෝජනා ක්‍රමය ඔවුන්ට විදේශගත වීමට පෙර ඒ සඳහා අවශ්‍ය වන ණය මුදල් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් කීර්තියක් දිනා ඇති සේවාවකි. එම සේවාව තව දුටරත් පරිපූර්ණ කරමින් සේවාලාභීන් සඳහා රක්ෂණ සේවාවන්ද සැපයීම වෙනුවෙන් HNB බැංකුව සහ HNB General Insurance සමාගම අතර 2023 වසරේදී පළමු වරට සහයෝගීතාවයක් ආරම්භ කෙරුණු අතර මෙම වසරේදී එම සහයෝගීතාවය තවත් ඉහළට ඔසවා තබමින් සේවාලාභින් හට ඉතා පුළුල් සහ වාසිදායක සේවාවන් සහ ප්‍රතිලාභ රැසක් ලබා දීමට HNB General Insurance සමාගම කටයුතු කර ඇත. එමෙන්ම රක්ෂණ සේවාවන් ලබා දෙන කාණ්ඩ සංඛ්‍යාව වැඩි කරමින් වඩා වැඩි පිරිසකට රක්ෂණ සහනය ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයකි.

HNB බැංකුව සහ HNB General Insurance සමාගම අතර වන ‘අධිෂ්ඨාන’ සහයෝගීතාවය සාර්ථක කරගැනීම සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයන්ගේ සංගමයේ (Association of Licensed Foreign Employment Agencies – ALFEA) සහයෝගයද ඉතා වැදගත් බව මෙහිදී සඳහන් කළ යුතුය.

“වර්තමානයේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අපේ රටේ ආර්ථිකයට දක්වන දායකත්වය වෙනුවෙන් ඔවුන්ට හැකි හැම අයුරකින්ම සවියක් වීම සමස්ත ජාතියේම වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. නව ‘අධිෂ්ඨාන’ සහයෝගීතාවය හරහා විදේශ ශ්‍රමිකයන්ට ලබා දෙන සේවාවන් පුළුල් කිරීමට හැකි වීම වගේම රක්ෂණාවරණ හිමිවන වෘත්තිකයින් කාණ්ඩ සංඛ්‍යාව වර්ධනය කිරීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. එය අප ලැබූ ජයග්‍රහණයක් විදියට සළකන්න පුළුවන්.” යැයි අධිෂ්ඨාන හවුල්කාරිත්වය අලුත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් HNB General Insurance ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා පෙන්වා දුන්නේය.

“සෑම මසකම විදේශගත රැකියා අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික වෘත්තිකයන් සංඛ්‍යාත්මකව ඉහළ යන නිසා අප විසින් ඔවුන්ට ලබා දෙන සේවාවන් ඉහළ දැමීම ද අත්‍යවශ්‍යයි. වේගයෙන් පුළුල් වන අපගේ පාරිභෝගික පදනමට HNB General Insurance සමාගම සමඟ වන හවුල්කාරිත්වය නිසා විශ්වාසනීය මූල්‍ය සුරක්‍ෂිතතාවයක් ලබා දෙමින් ඔවුන්ට මානසික නිදහසකින් යුතුව සිය වෘත්තීය කටයුතු කරගෙන යාමට අවස්ථාව උදා වෙනවා. එකම සමූහයක සාමාජිකයින් වශයෙන් අප සමාගම සතු වන ශක්‍යතාවයන් මනාව කළමනාකරණය කර ගනිමින් පාරිභෝගිකයන්ට වැදගත් වන ඒකාබද්ධ සේවාවක් සැපයීමට අපේ ඇති කැපවීම ද මේ හරහා පෙනී යනවා.” යැයි HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික සේවා බැංකුකරණ සමූහය සන්ජේ විජේමාන්න මහතා ප්‍රකාශ කළේය.

HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම තනි පුද්ගලයින් සහ සමාගම් සඳහා පුළුල් පරාසයක මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ සේවාවන් සහ ටකාෆුල් සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ රක්ෂණ සමාගමකි. HNB සමූහයේ සාමාජිකයෙක් සහ HNB Assurance PLC සමාගමේ අනුබද්ධිත සමාගමක් වන HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම දිවයින පුරා විසිරුණු ශාඛා ජාලයක් හරහා විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවකට සිය සේවය සපයයි. ෆිච් ලංකා රේටින්ග් සමාගම විසින් රක්ෂක මූල්‍ය ශක්තිය සඳහා ලබා දෙන ‘A- (lka)’ ශ්‍රේණිගත කිරීමක් හිමි HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම නව්‍යකරණය සහ උසස් සේවය තුළින් සිය පාර්ශ්වකරුවන් හට උපරිම වටිනාකම ලබා දීමට කැප වී සිටින සමාගමකි.