hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 09, ප.ව. 3:25



ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බදවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ කර තිබෙනවා.

ඒ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ සෞදි අරාබියේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ්හි මහතා අතර ඊයේ (08) පැවැති පළමු නිල ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි.

මෙහි දී ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර බදවාගැනීම් සදහා ද්වී පාර්ශ්වීය කමිටු දෙකක් පත් කිරීමටත්, ගෘහ සේවක සේවිකාවන් බදවා ගැනීමේ දී පවතින අක්‍රමිකතා සොයා බැලීම සදහා දින 30ක් තුළ නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශන කමිටුවක් පත් කිරීමටත් සෞදි අරාබියේ මානව සම්පත් සහා සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ්හි මහතා එකග වී තිබෙනවා.

මෙරට ශ්‍රමිකයන්ට දැනට ගෙවන අවම වැටුප තවදුරටත් ඉහළ දැමීමටත් සෞදි අමාත්‍යවරයා එකගවී ඇති අතර ඒ සදහා වන නිර්දේශ දින තිහක් ඇතුළත ඉදිරිපත් කිරීමටද නියමිතයි.

ශ්‍රී ලංකාවේ සේවක අතිරික්තයක් ඇති අංශයන් සදහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දීමටත් එකගතාව පළ කර තිබෙන අතර අරාබි සහ ඉංග්‍රීසි බසින් පමණක් ඇති සේවා ගිවිසුම් සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමු ව ඇතැයි වාර්තා වනවා.

එසේ ම ගෘහ සේවක සේවිකාවන් මුහුණපා ඇති ගැටලු සොයා බලා දින 30ක් තුළ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ද දෙපාර්ශ්වයේ එකගතාව හිමි වී තිබෙනවා.

මෙ‍තක් කලක් පිලිපීනයට සහ බංගලිදේශයට පමණක් විවෘත කර තිබූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අංශ ගණනාවක් ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විවෘත කිරීමට නියමිතයි.

ගෘහ සේවය සම්බන්ධයෙන් ගැටලු ඉස්මතු ව ඇති බඳවා ගැනීමේ ගාස්තු සහ පිරිවැය යළි සලකා බැලීමටත්, සේවක අක්‍රමිකතා සිදුකළ රැකියා නියෝජිත ආයතන 400ක් පමණ වසා දැමීමටත් තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: