hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 28, ප.ව. 5:58



Onmax පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට විශාල පිරිසකගේ මුදල් අහිමි වී තිබෙනවා.

එලෙස මුදල් අහිමිව සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව අද (28) එම සමාගමේ අධ්‍යක්ෂවරුන්  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

ඒ එම අදාළ පැමිණිල්ල අද  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

මෙම දැනුම්දීම එම අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සිදුකර ඇති බව සඳහන් විය.

එහිදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සිය සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 61,000කට මුදල් ගෙවීමට නියමිතව තිබෙන බවයි.

එලෙස ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 18 කට අසන්න ය.

එමෙන්ම, තම සමාගමට අදාළ බැංකු ගිණුම් මේ වනවිට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බව ඒ මහතා පැවසුවා.

එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙහිදී අධිකරණයේ දී මුදල් අහිමි වූ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ විත්තිකරුවන් විසින් තම සේවා දායකයින්ට රුපියල් කෝටි 25ක පමණ මුදලක් නැවත ගෙවීමට නියමිතව තිබෙන බවයි.

මහෙස්ත්‍රාත්වරයා මෙහිදී තැන්පත්කරුවන්ට නියෝග කළේ තමන්ට ගෙවීමට තිබෙන මුදල් පිළිබඳ සියලු විස්තර විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම, ඉන් පසුව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බවත් මහෙස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ජුලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් පාර්ශ්වකරුවන්ට දන්වා සිටියා.

කෙසේ වෙතත්, එම නඩුවේ සැකකරුවන් ලෙස අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට ඔවුන් ඇප මත මුදාහැර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: