hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 07, ප.ව. 5:56



සහල් මෝල්වලින් අවශ්‍ය පරිදි සහල් වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් රට පුරා දේශීය සහල් හිගයක් පවතින බවත් විදේශීය සහල් ද ඉතා සීමිත ප්‍රමාණයක් පවතින බව සහල් වෙළෙන්දෝ පවසනවා.

සහල් හිඟය පිළිබඳව දඹුල්ල තොග සහල් අලෙවි කරන ස්ථාන වලින් විමසීමේදී කියා සිටියේ මහා පරිමාණ සහල් මෝල්වලින් මේ වන විට සහල් නිකුත් කිරීම අත්හිටුවා දින කිහිපයක් ගතවන බවයි.

මෙම හේතුව නිසා තොග වශයෙන් සහල් අලෙවි කිරීම සම්පූර්ණයෙන් නවතා දමා වෙළදසැල්වල ඇති සීමිත සහල් තොග ජනතාවට සිල්ලරට විකිණීම සිදු කරන බවද ඔවුහු පවසනවා.

සහල් මෝල් හිමියන් වී හිගයක් ඇති බව පවසා සහල් ලබා නොදෙන බව ද සහල් කිලෝවක් රුපියල් දෙසිය හතළිහකට පමණ ඉහළ දැමීමේ සූදානමක් පවතින බවද සහල් අලෙවිකරුවෝ පවසනවා.

ඇතැම් වෙළඳසැල්වල දේශීය සහල් අලෙවිය සඳහා නොමැති බවද ඇතැම් වෙළඳසැල් වල ඉතා සීමිත ප්‍රමාණයක් තබාගෙන තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් දේශීය සම්බා, කැකුළු, නාඩු සහල් කිලෝ එකක මිල රුපියල් 210 සිට 240 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව පාරිභෝගික ජනතාව පවසනවා.

සහල් මිලදී ගැනීම සඳහා පැමිණි සිල්ලර වෙළෙඳ සැල්වල හිමිකරුවන් කියා සිටියේ සහල් වෙළඳසැල්වලින් නිකුත් නොකිරීම නිසා ග්‍රාමීය ප්‍රදේශවලට සහල් රැගෙන යෑමට නොහැකි වී ඇති බවයි.

පාරිභෝගික ජනතාව කියා සිටින්නේ රට තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.

මහා පරිමාණ වී මෝල් වල ඇති තොග වහාම එළියට දමා මෙම සහල් හිඟයට විසඳුම් ලබා දෙන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඔවුහු පවසනවා.

ඇතැම් සුළු හා මධ්‍ය පරිමාණ සහල් අලෙවි කරන්නන් කියා සිටියේ මහා පරිමාණ සහල් මෝල්වල ඕනෑ තරම් වී හා සහල් තොග සඟවා ඇති බවයි.

මේ හේතුවෙන් මුළු රටේම සහල් හිඟයක් මවා පෑමක් සිදුවන බවද එම ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් එම වෙළෙන්දන් කියා සිටියේ වහාම යුද හමුදාව යොදවා මෙම සහල් මාෆියාව මර්දනය කිරීම සඳහා රජය පියවර ගත යුතු බවයි.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස