hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 මැයි 27, පෙ.ව. 10:46



මෙම වර්ෂයේ  මුල් කාර්තුව තුල නිමි තේ කිලෝග්‍රැම් මිලියන 04ක පමණ නිෂ්පාදනය අඩුවී ඇති අතර මේ නිසා ඩොලර් මිලියන 73ක පමණ ආදායමක් අහිමිවි ඇති බව පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති  ලයනල් හේරත් මහතා පවසනවා.

රසායනික පොහොර තහනම් කිරිමේ ප්‍රථිපල මේ වනවිට ලැබෙමින් පවතින බවත් කිලෝ 50 තේ පොහොර මිටියක මිල රුපියල් 20,000, 30,000 අතරේ පවතින බවද ලයනල් හෙරත් මහතා පෙන්වා දෙනවා. 

පොහොර මිල වැඩිවිම තේ වතුහිමියන්ට දරාගත නොහැකි බවත් මෙම තත්වය නිසා තේ වතු හිමියන්ගෙන් විශාල පිරිසක් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව ඇති බවයි ඔහු කියා සිටියේ.  

මේ නිසා අමු තේ දළු නිෂ්පාදනය මෙන්ම තේ දළුවල ප්‍රමිතියද අඩුවි ඇති බවද තේ කර්මාන්තශාලා හිමියන්ගේ සභාපතිවරයා අවධාරණය කරනවා.

අපේ රටේ නිමි තේ නිෂ්පාදනය දිගින් දිගටම අඩුවුවහොත් තේ නිෂ්පාදනය කරණු ලබන වෙනත් රටවල් අපිට හිමි ලෝක තේ වෙළදපොළ අල්ලා ගැනිමේ අවදානමක් පවතින බවද ලයනල් හේරත් මහතා ප්‍රකාශ කළා.

ඉන්ධන අර්බුදය තේ කම්හල් සදහා දැඩිලෙස බලපා ඇති අතර ප්‍රවාහනයේ දී මෙන්ම අමුදර සැපයිමේ දී මෙය තේ කම්හල් හිමියන්ට දැඩිලෙස බලපා ඇති බවද ලයනල් හේරත් මහතා පෙන්වා දෙනවා. 

අමු තේ දළු සදහා ඉහල මිලක් මේ වනවිට ලැබි ඇතත් යෙදවුම්මිල ද වැඩිවී ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා මේ නිසා කඩනමින් සහනදායි මිලකට තේ පොහොර ලබාදිමට කටයුතු කළයුතුව ඇති බවද වැඩිදුරටත් සදහන් කළා.