hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 03, ප.ව. 3:21



සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව මුහුණ දෙන අභියෝග සඳහා කඩිනම් විසඳුම් සලසා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

තොග වෙළෙඳපොළට බෙදාහරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළෙඳසලට සෘජුවම ලැබීමට සැලැස්විය යුතු අතර එමඟින් සිදුවන ප්‍රවාහන වියදම අවම වීමෙන් ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබාගැනීමටත්, ගොවියාට ඉහළ මිලක් ලබාගැනීමටත් හැකි වෙතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන අසාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරෙන වෙළෙඳාම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

දිවයින පුරා පිහිටි සතොස සහ සමූපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ වෙළෙඳුන්ගේ අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.