hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 12, ප.ව. 5:42



කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය කිලෝමීටර් 3.9 ප්‍රදේශයේදී අද අලුයම සුඛෝපභෝගී මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගිය බව අතුරුගිරිය රථවාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි.

එම වාහනවල ගමන් ගත් කාන්තාවන් සිව්දෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන ප්‍රදේශයේ පදිංචි සුනේත්‍රා විජේසේකර 56 දෙදරු මවක්.

ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට ගොස් යළි මාලබේ ප්‍රදේශයේ කරා යමින් සිටි හත් දෙනකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් වෑන් රථය පිටුපසින්  දෙදෙනකු ගමන්ගත් සුඛෝපභෝගී  ජීප් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.

සිදුවූ අනතුරක් සමඟ වෑන් රථ රියදුරු අසුනට පිටුපස අසුනේ සිටි කාන්තාවක් සහ තවත් කීප දෙනකු වෑන් රථයෙන් පිටතට විසි වී ඇති අතර කාන්තාවගේ සිරුර වම්පස ආරක්ෂිත වැටෙහි  ගැටීමෙන් ඇයගේ ගෙල ප්‍රදේශය ආරක්ෂිත වැටේ යකඩ  තහඩු කොටසට කැපී යාමෙන් හිස කොටස කඳින් වෙන්ව ගොස් එම ස්ථානයේදීම මියගොස් තිබූ බවත් බව පොලිසිය සඳහන් කළා.

සුඛෝපභෝගී ජීප් රථය වෑන් රථය ගැටීමෙන් අනතුරුව වෑන් රථය දකුණු දිසාවට ඇදීගොස් එයින් ඉදිරිපස කොටස ආරක්ෂිත වැට මත පතිත වී ඇති අතර  ජීප් රථය ඉදිරියට ඇදී ගොස් උඩුකුරුව පෙරලී ගොස් තිබූ බව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

වෑන් රථය ගමන් ගත් අයවලුන් මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ජීප් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ජීප් රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය පවසයි.

අධිවේගී රථවාහන පොලිසියේ අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානය පරීක්ෂණ පවත්වයි.