hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 21, ප.ව. 1:59



පස්සර – ලුණුගල මාර්ගයේ, 13 කණුව ප්‍රදේශයේදී මිනිස් ජිවිත 15ක් බිලි ගනිමින් තවත් පුද්ගලයන් 35 දෙනකුට තුවාල සිදුකරමින් සිදු වූ මාරක බස් අනතුර සිදුවී වසර දෙකක් පිරෙන ඊයේ (20) පෙරවරු 7.20ට එම ස්ථානයේදීම මෝටර් රියක් පෙරළීමෙන් ගුරුවරයකුට ජීවිතය අහිමි වූ පුවතක් වාර්තා වුණා.

මීට දෙවසරකට පෙර 2021.03.20 දින ලුණුගල සිට කොළඹ බලා පෙරවරු 06.30ට ගමන් ඇරඹූ මෙම පෞද්ගලික බස් රථයේ ගමනාන්තය පස්සර, 13 කණුව අසලදී අවසන් වේ යැයි කිසිවකුත් නොසිතන්නට ඇත.

ලුණුගල සිට අධික වේගයෙන් ගමන් කරමින් තිබූ මෙම බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට ඉඩ දීමේදී එකවරම මාර්ගයෙන් ඉවතට පැන අඩි 250කට වඩා ගැඹුරු ප්‍රපාතයකට ඇදවැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

රියදුරුගේ අධික වේගය හා නොසැලකිලිමත් රිය පැදවීමත් මාස හයකට පමණ පෙර මාර්ගයට වැටී තිබූ විශාල ගලක් ඉවත් නොකිරීමත් මෙම අනතුරට මූලික හේතුව බව ප්‍රදේශවාසීහු එහිදී පැවැසූවා.

එම අනතුර සිදුව වසර දෙකක් ගතවූ ඊයේ එම වේලාව වූ පෙරවරු 07.20ට පමණ එම ස්ථානයේදීම කාර් රථයක් පෙරළී යෑමෙන් වයස අවුරුදු 37ක් වූ පාසල් ගුරුවරයෙක් අවාසනාවන්ත ලෙස මිය ගියා.

ලුණුගල, කලෙයිමගල් දමිළ විද්‍යාලයේ සේවයේ නියුතු විජේසේකරම් පරනිදරන් නමැති මෙම ගුරුවරයා  දියණියන් දෙදෙනකුගේ පියකු වන අතර  ඔහුගේ බිරියද ගුරුවරියක ලෙස මහ‍ෙදා්ව දමිළ විද්‍යාලයේ සේවය කරයි.

පස්සර – ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් මොහුගේ නිවෙස පිහිටා ඇති අතර එම නිවෙසේ සිට ප්‍රධාන මාර්ගය දක්වා ගමන් කිරීමට ඇති දැඩි බෑවුමක් සහිත කොන්ක්‍රීට් මාර්ගයක්.

තම බිරිය වේලාසනින් පාසල් යෑමට ගොස් තිබූ අතර තමාද සේවය සඳහා යෑමට පෙර තම දරුවන් දෙදෙනා පාසල වෙත ඇරලවීමට තම කාර් රථය සූදානම් කරමින් සිට තිබෙනවා.

වෙනදාත් එම මාර්ගයේ ආරක්ෂාකාරීව රිය ධාවනය කර ඇති මොහු නිවෙසේ සිට කාර් රථය අතුරු මාර්ගය වෙත ගැනීමත් සමඟ සිදු වූ යම් අතපසුවීමකින් වේගයෙන් පහළට ඇදී ආ කාර් රථය මීටර් හැටක් පමණ පහළට ඇදීවිත් පෙරළී ප්‍රධාන මාර්ගයට ඇදවැටීමෙන් ඔහුට ජීවිතය අහිමි වුණා.

මේ පිළිබඳව එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කදිරේෂන් චන්ද්‍රකුමාර් මෙසේ  පවසා සිටියා,

“මට අද වගේ මතකයි මීට අවුරුදු දෙකකට කලින් ලුණුගල ඉඳන් කොළඹ යන්න ආව ප්‍රයිවට් බස් එක මෙතැනින් පහළට පෙරළුණා. එදා අපි සෑහෙන පිරිසක් ඇවිත් තමයි තුවාලකරුවන් පහළ ප්‍රපාතයේ ඉඳන් උඩට ගෙනාවේ. මම අද උදේ මෙතැනින් යනකොට හතයි විස්සට විතර ඇති. ඒ වේලාවේ එදා පෙරළුණු බස් එක වෙනුවට දාලා තියෙන බස් එක මෙතැනින් ගියා විතරයි උඩ පාරෙන් වේගයෙන් ආපු කාර් එකක් පාරට පෙරළිලා වැටුණා.

මමත්, අහල පහළ හිටපු අයත් වටවෙලා කාර් එකේ හිටපු මහත්තයා එළියට අරගෙන ත්‍රීවීල් එකක දාලා පස්සර හොස්පිට්ල් එකට යැව්වා. පස්සේ දැනගන්නට ලැබුණා ඒ මහත්තයා උඩ ගෙදර ඉන්න ස්කෝල මහත්තයා කියලා.මේ ස්ථානයේ මොනවහරි දෙයක් තියෙනවාද දන්නෑ. එදා ඒ අනතුර වුණු වේලාවටම අද මේකත් වුණේ. තව ටිකක් ඉස්සර වුණා නම් අර බස් එකේ තමයි මේ කාරකත් ඇවිල්ලා වදින්නේ”

මේ පිළිබඳව අදහස් පළ කළ පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියරත්න ඒකනායක මහතා පවසා සිටියේ, මෙම මියගොස් සිටින පුද්ගලයාගේ නිවෙස ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටා තිබෙනවා.

ඔහු තමාගේ කාර් රථය ප්‍රධාන මාර්ගයට ධාවනය කිරීමට නිවෙසින් පිටතට ගැනීමේදී සිදු වූ අතපසුවීමකින් හෝ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදුවන්නට ඇති.

බදුල්ල කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත පස්සර පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා යැයි පැවැසුවා.