hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 22, ප.ව. 12:43



අලුතින් පාසලට යන්න සුදු ඇඳුම් මහගෙන එන අතරේ ගමන් කළ ත්‍රිරෝද රථය වෑන් රථයක ගැටීමෙන් පාසල් දැරියක හා ඇයගේ මවගේ කුස තුළ සිටි බිලිදාත් මියගොස් තිබෙනවා.

බරපතළ තුවාල ලබා සිටි මව කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව කිතුල්ගල පොලිසිය පැවැසුවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල ඉංගිරියාවත්ත ප්‍රදේශයේ පෙරේදා (20) සවස වූ ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරෙන් ඔවුහු මෙලෙස අනතුරට මුහුණ පෑවා.

අනතුරින් මෙවර 1 වසරට ඇතුළු වීමට සිටි වයස අවුරුදු 5ක් වූ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ පදිංචි එම්. ඩී. යහාවි රුහාරා දැරිය එම ස්ථානයේදීම මිය ගියා.

ගැබිනි කාන්තාවක් වන දැරියගේ මව බරපතළ තුවාල ලබා මේ වන විට කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඇගේ කුස තුළ සිටි දරුවාද මියගොස් සිටි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ත්‍රිරෝද රථයේ රියැදුරුද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටිනවා.

වන්දනා ගමනක් ගොස් කෑගල්ල ප්‍රදේශය බලා එමින් සිටි වෑන් රථයක් ත්‍රිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇති අතර වාහන දෙකටම දැඩි හානි වී තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කිතුල්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර පක්‍ෂගේ මූලිකත්වයෙන් පොලිස් රථවාහන අංශය සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ කරයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කරවනැල්ල රෝහලේදී කිරීමට නියමිතයි.