hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 26, ප.ව. 4:07



පිලියන්දල පොලිසියේ රථවාහන  අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට පෙරේදා රාත්‍රී අමානුෂික එලෙස පහර දුන් බව කියන පිරිසෙන් අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

පිරිස වටකර පහර දෙද්දී ප්‍රධාන සැකකරු වූයේ එක් පුතෙකු ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම පහරදීම සම්බන්ධයෙන් සැකකාර යුවළගේ පුතුන් දෙදෙනා ඇතුළු තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

පහරකෑමට ලක්වූයේ පිලියන්දල පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙක්.

කොස්තාපල්වරුන් දෙදෙනා පෙරේදා (25) රාත්‍රී රථවාහන රාජකාරියේ යෙදී සිටියදී කැස්බෑව දෙස සිට පැමිණි කුඩා ලොරි රථයක් ඔහුන් ඉදිරියෙන් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන දැක මොරටුව මාර්ගයට හැර වීමත් සමඟම නැවතීමට සංඥා කර ඇත .

එම අවස්ථාවේ ලොරි රියදුරු ලොරිය ඔවුන් දෙසට එකවරම හරවා යට කිරීමට උත්සාහ දරා පලා යාමේදී ඇති වූ සැකය මත කොස්තාපල්වරුන් දෙදෙනා ලොරිය පිටුපස හඹා ගොස් නවතන ලෙස කෑ ගසා ඇති අතර එහිදී  අවස්ථා කීපයක දී කොස්තාපල්වරුන් දෙදෙනාට මාර්ගය හරස් කරමින් ලොරිය ධාවනය කර ඇත.

ලොරි රථය අනතුරුව බටුවන්දර මාර්ගය ඔස්සේ කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයට ගොස් නිවසක් ඉදිරිපිට මාර්ගයේ නැවතීමත් සමඟ ම  ලොරි රියදුරු සහ ඔහු සමග සිටි පුද්ගලයා සමග නිවස දෙසින්  පොලු මුගුරු රැගෙන පැමිණි කාන්තාවක් ඇතුළු හත් දෙනකු පමණ පිරිසක් ඔවුන්ට  වටකර පහර දී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී එක් කොස්තාපල්වරයෙක් දැඩි ආයාසයක් දරා මේ බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ජංගම දුරකතනය ඔස්සේ පැවසීමත් සමඟ ම ස්ථානාධිපතිවරයා කැස්බෑව සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර පොලිස් කණ්ඩායම් කීපයක් හෙරලියාවලට ගොස් කොස්තාපල්වරුන් දෙදෙනා මුදා ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් දෙදෙනා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

කොස්තාපල්වරුන් දෙදෙනාට පහර දීමට සම්බන්ධ වූ ලොරි රියදුරු වෑතර රෝහලට ඇතුළත්ව සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

පහරදීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි  යුවළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී එම්.ඩි.ඩි.නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරේෂ් පෙරේරා පොලිස් කොස්තාපල් 92440 චාමර  මහත්වරු පරීක්ෂණ පවත්වනවා.