hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 19, ප.ව. 10:12



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 37 දෙනෙකු ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී සහන් යාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර ලබාදීමද සිදුකෙරුණා.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇති අතර පළාගොස් සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වරෙන්තුද නිකුත් කළා.

තවත් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි අද අනාවරණය වුණේ.

පසුගිය වසරේ මැයි මස 09 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සමඟ අරලියගහ මන්දිරයේ සිට පොළොන්නරුවේ පිහිටි සිය නිවස වෙත යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේදී කලහකාරි පිරිසට මැදිව තිබුණා.

එහිදී මන්ත්‍රීවරයා පැමිණි රථය පරීක්ෂා කිරීමට අදාළ පිරිස කටයුතු කළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරියා වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර එහිදී තරුණයෙකු මියගිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබුවා.

එහිදී කලහකාරි පිරිස මන්ත්‍රීවරයාට සහ ආරක්ෂක නිලධාරියාට පහරදීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරියා රථයෙන් බැස දිවගොස් අසළ පිහිටි නිමි ඇදුම් වෙළඳසැලකට ගොස් සැඟවීමටයි කටයුතු කර තිබුණේ.

එහිදීයි මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරියා ඝාතනය කෙරුණේ.

අනතුරුව පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කරනු ලැබුවේ.