hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 12:36



වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් තිහාර ජයරත්න මහතාගේ ඝාතනයට සම්බන්ද වෙඩික්කරු වසර තුනට පමණ පසු අත්අඩංගුවට ගත්බව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි.

සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු  සිය නිවස අසල මළ ගෙදරකට පැමිණ සිටියදි  පෙරේදා (10) රාත්‍රි අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදිවියේ පසුවන රත්ගම ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.

ප්‍රධාන ජේලර්වරයා 2019 වර්ෂයේ අගෝස්තු මස 03 වැනි දින අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රදේශයේ දි ඝාතනයට ලක් වුණා.

මෙම ඝාතනයෙන් පසු වෙඩික්කරු අතුරුදහන් ව සිටි ඇති අතර ඔහු 2019 වර්ෂයේ 08.22 වැනි දින ඩුබායි බලා ගොස් තිබෙනවා.

නැවත 2021.03.03 වැනි දින මෙරටට පැමිණ ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

සැකකරු මෙරටට පැමිණ පොලිස් ඇසට ද වැලිගසමින් තැන් තැන්වල සැග වී සිට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා.

මොහු සිය ගම්පලාතේ අයට ද විදේශතව සිටින බව හගවමින් විවිධ ස්ථානවල නතරවි සිටි තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හිටපු යුධ හමුදා සෙබලෙක්.

ඔහු  යුධ හමුදාවෙන් පලාවිත් තිබූ අතර පසුව පොදු සමාව යටතේ නීත්‍යානුකුලව යුධ හමුදාවෙන් ඉවත් වී තිබෙනවා.

මොහු සිවිල් ආරක්ෂක බලකායේ ද සේවය කොට ඇති බවට අනාවරණය වී ඇති අතර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් මාස අටක පමණ කාලයක් තිස්සේ  සැකකරු පිළිබද විමර්ශනය කොට දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන ජේලර්වර්යාගේ ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදු වී ඇති බවට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදු කරනවා.

ගාල්ල – ලලිත් චාමින්ද