hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 12, ප.ව. 5:26



නව හැවිරිදි දැරියකට මිරිස් සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා ,පහර දී පුළුස්සා ,ගෙල මිරිකා කෲර වධ හිංසාවට ලක් කළ 29 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් කාන්තාව දැරියගේ පියාගේ දෙවෙනි බිරිඳ (කුඩම්මා) බව පොලීසිය කියයි.

කඩුවෙල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබන දැරිය ඇයට වන වධහිංසාව පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්ති භාර ගුරුතුමියට කරන ලද දැනුම්දීමක් අනුව විදුහල්පතිතුමිය දැරිය සමග පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව  සැකකාරිය අත්අඩංගුවට ගත් බව  කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසුවා.

දැරියගේ මව ඇය පෙර පාසල් යන අවධියේදී පියා සමග තනිකර නිවසින් පිටව ගොස් ඇති බවත් දැරියගේ පියා මීට වසර දෙකකට පමණ ඉහතදී මෙම කාන්තාව නිවසට කැඳවාගෙන පැමිණ ඇතැයි ද ඇයට ඒ වන විට පෙර විවාහයේ පුරුෂයාගෙන් පිරිමි දරුවෙක්ද ඇතැයි පොලිසිය කියයි. 

සැකකාර කාන්තාව විසින් අලුයම හතරට  අවදි කරවන දැරිය පොල් ගාවා ගැනීම, එළවළු කපා ගැනීම, වළං සෝදා ගැනීම, එම කාන්තාවගේ සහ ඇයගේ දරුවාගේ රෙදි සෝදා ගැනීම ඇතුළු වැඩපළ රාශියක් දැරිය ලවා සිදු කරගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ඇයගේ යම් වැඩක් අතපසු වුවොත් දැරියට පහර දී ඇති අතර වරෙක මෝල් ගසකින්ද පහර දී  ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඉකුත් සඳුදා (10) සැකකාරිය විසින් දැරියව බිම දමා කකුල් පාගා බඩ ප්‍රදේශයට දණහිසෙන් පහර දී ඇතැයිද අනතුරුව  සැකකාරිය දැරිය අමතා එය කිසිවකුට හෝ පැවසුවොත් “තෝ මරා දින දාහතරකට  හිරේ යනවා” යැයි මරණීය තර්ජනය කල බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවා.

සැකකාරිය ඇයගේ දරුවා සමග ඇඳක නිදා ගන්නා අතර දැරියට කැඩුණු පැදුරක් ලබාදී ඇතැයිද, නිවස තුළ වූ නාන කාමරයෙන් දියනෑම දැරියට තහනම් කර ඇති අතර නිවස පිටුපස තිබෙන වැසිකිලිය තුල සවි කර තිබෙන ජල කරාමයෙන්  දැරියට දිය නෑම සඳහා අණ කර ඇතැයි දැරියගේ ප්‍රකාශයකින් වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිස් නිලධාරිනිය පැවසුවා. 

දැරියගේ ශරීරය පුරාම පිළිස්සුම් තුවාල කැලැල් තැලුම් තුවාල කැලැල් රැසක් මතු පිටින් පෙනෙන බවත් යම් යම් ස්ථාන ස්පර්ශ කිරීමේදී ඇය වේදනාවෙන් පෙළෙන බවත් පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවා.

දැරිය මුල්ලේරියා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද ඉදිරිපත් කරන බව කඩුවෙල  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා සඳහන් කළා.

සැකකාරිය කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කඩුවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.